වම – දකුණ හඳුනා ගන්න බැරි දක්ෂිණාංශිකයෝ – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

මෑතක පටන් ලංකාවේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි “දකුණ”, “දක්ෂිණාංශය” වගේ දේවල් ගැන සමහරු තුළ උන්මාදනීය උනන්දුවක් ඇතිවෙලා තිබීම. ගොඩක් අය තමන් දක්ෂිණාංශිකයි කියලා කියන්නෙ හරිම ආඩම්බරෙන්.

මට අනුව ඒක ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් ඊට කලින් දක්ෂිණාංශය කියන්නේ මොකක්ද කියලා එතුමන්ලා තේරුම් ගත්තොත් හොඳයි කියලා මෑතකදී පළවුනු පෝස්ට් සහ කමෙන්ට්ස් කීපයක් දැක්කම හිතුනා. දක්ෂිණාංශය ගොඩ නගමු කියලා කියන සමහරු ඇත්තෙන්ම කිව්වොත් වම දකුණ පටලගෙන ඉන්නේ. ඒ කියන්නේ එයාලා මේ දකුණ කියලා කියන්නේ ඇත්තෙන්ම නම් වමට.

උදාහරණයක් විදිහට මේ පහත අමුණලා තියෙන අපේ ශිරාල් ලක්තිලකගේ පෝස්ට් එක පෙන්වන්න පුළුවන්. ශිරාල් පෝස්ට් එක පටන් අරන් තියෙන්නේ “දක්ෂිණාංශික දේශපාලනයක් ගැන විශ්වාසයක් තබන” සැම දෙනාටම “දිනන දකුණක්” සඳහා එක්වෙන්න ආරාධනා කරමින්. නමුත් පුදුමයකට වගේ ඒ පෝස්ට් එක ඇතුලේ එතුමා කැපවෙන (දක්ෂිණාංශික?) ප්‍රතිපත්ති විදියට දක්වලා තියෙන්නේ “සමානාත්මතාවය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස”.

තරහ අවසරයි. නමුත් ඔය කියන සියලුම ප්‍රතිපත්ති ශාස්ත්‍රීය වශයෙනුත් ඒ වගේම ලෝකයේ ප්‍රායෝගික තත්ත්වය අතිනුත් ගත්තම සැලකෙන්නේ වාමාංශික ප්‍රතිපත්ති විදිහටයි. ඒක මේ මම කියන දෙයක් නෙවෙයි. මේ පිළිබඳව පලවෙලා තියෙන පොතපත නෙවෙයි අඩුම තරමින් විකිපීඩියා බැලුවත් ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. කොටින්ම කිව්වොත් වම කියන එකේ තේරුමම තමයි සමානාත්මතාව අගය කිරීම.

අවශ්‍ය නම් මේ ගැන දිගට කතා කරන්න පුළුවන්. නමුත් ශිරාල්ගේ මේ පෝස්ට් එක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලෝකයේ වෙනත් රටක ඉන්න, දේශපාලනය පිළිබඳ සුළු අවබෝධයක් හෝ තියෙන කෙනෙකුට බලන්න දුන්නොත්, එයා එකපාරට හිතන්න පුළුවන් වාමාංශිකයින්ගේ පෝස්ට් එකක වම වෙනුවට දකුණ කියලා වැරදියට ටයිප් වෙලා කියලා. මම මේක මේ කියන්න උපහාසයට නෙවෙයි. ලෝකයේ වම දකුණ බෙදිලා තියෙන ඇත්තම විදිය අනුව ලෝකේ ඕන රටක මිනිහෙක්ට වම කියලා පේන්නේ ඔය ශිරාල් ලියල තියන ප්‍රතිපත්ති තමයි.

දකුණ කියන්නේ ඊට වඩා සහමුලින් වෙනස් එකක්. දකුණෙ ඉන්න සමානාත්මතාව වෙනුවට ධූරාවලිගතබව පිළිගන්න, නිදහස වෙනුවට ශක්තිමත් රාජ්‍යය පිළිගන්න, (අනවශ්‍ය) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අධිකාරීත්වය වෙනුවෙන් පෙනී සිටින, පුද්ගල නිදහස වෙනුවට රාජ්‍යයේ ස්ථාවරභාවය අගය කරන පිරිසක්. දකුණ නැතිනම් දක්ෂිණාංශය කියන්නේ ඒකට.

ශිරාල්ගේ මේ දේශපාලන පටලවා ගැනීම ආගම පිළිබඳ උදාහරණයකින් පැහැදිලි කළොත් මේක සමාන වෙන්නේ තමන් ක්‍රිස්තියානි කියලා කියන කෙනෙක්, නිවන හෝ සංසාරය ගැන විශ්වාස කරනවා වගේ එකකට. එහෙම නැතිනම් තමන් බෞද්ධ කියල කියන කෙනෙක් ඒ එක්කම සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියලා පිළිගන්නවා වගේ එකකට. කවුරු හරි නිවන පිළිගන්න එකේ වරදක් නැහැ. හැබැයි එතකොට තවදුරටත් එයා ක්‍රිස්තියානි නෙවෙයි. ඒ වගේම යමෙක් දෙවියන් වහන්සේව පිළිගන්නවා නම් එයා බෞද්ධ නෙවෙයි.

සාමාන්‍යයෙන් මීට කලින් මම මේ වගේ  පෝස්ට්ස් නොදැක්කා වගේ ඉන්නවා. නමුත් ලංකාව වම දකුණ පටලවාගෙන ඉන්නේ, සහ එජාපය ඇත්තෙන්ම නම් දක්ෂිණාංශික පක්ෂයක් නෙමෙයි, ඊට වඩා ඒක වාමාංශික පක්ෂයක් කියලා පොතකුත් ලියලම තියෙන නිසා මම දැන් මේ වගේ විවාදවලට පැටලෙන්න කැමතියි.

මම මේ කාරණය ගැන අර නලින් ද සිල්වා කිව්වා වගේ ඉවරයක් වෙනකල්, එලි වෙනකම් හරි විවාද කරන්න සූදානම්. මොකද ලංකාවට දකුණක් අවශ්‍යයි සහ වම දකුණ පටලවාගෙන කවදාවත් ඒ දක්ෂිණාංශය හදන්න බැහැ. ඒ වගේම පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිසා අනාථ වෙලා ඉන්න අට අනූවක් වර්ගවල සියලු දෙනා එක තැනකට ගෙනාවා කියලත් එහෙම දක්ෂිණාංශ හැදෙන්නේ නැහැ. ඒවා දේශපාලන සරණාගත කඳවුරු විතරයි. දක්ෂිණාංශයක් හදන්න නම් දක්ෂිණාංශය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ අදහස මත සංවිධානයක් හැදෙන්න ඕනේ.

‍| අනුරුද්ද ප්‍රදීප් කර්ණසූරිය

(උපුටා ගැනීම – මුහුණු පොතින්)

Leave A Comment