අපි සොයන පිරිසුදු ශ්‍රී ලංකාව
- 5opn1
- January 20, 2025
- දේශපාලන
- අපි සොයන පිරිසුදු ශ්‍රී ලංකාව
- 0 Comments
වර්තමානයේ නව රාජ්‍ය පාලනය භාරගත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඉලක්කය ශ්‍රී ලංකාවේ ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදා කිරීමට කටයුතු කිරීමයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සෑම ආකාරයකම ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මේ අතරින් දේශපාලන අධිකාරිය විසින් “පිරිසුදු ශ්‍රී ලංකාවක්” ඇති කිරීම පදනම් කරගත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇත. නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකිකයන් විසින්ම රාජ්‍ය පාලනය මෙහෙයවීම දශක හතකට වැඩි කාලයක් සිදු කර ඇතත් සෑම ක්ෂේත්රයකම පාහේ සිදු කර ඇති වැරදි පරිපාලනය නිසා ක්ෂේත්‍ර ගණනාවක් පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. අප ජීවත්වන පරිසරය ඉන් එකකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාරිසරික පිරිසුදුකම ගැන කතා කරන විට ජපානය වැනි රටකින් ගතහැකි ආදර්ශ අතිමහත්ය. ජපන් ජාතිකයන් මෙම පිරිසුදු බව රැකගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් එකමුතුව ගෙන යන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සමාජ සංවිධාන සහ පුරවැසියන් ඇතුළු අංශ ගණනාවක සාමූහික ක්‍රියාවලියක එකතුවකින් සමන්විත යන්ත්‍රණයක් නිර්මාණය කොට ගෙන ඇත.
වෙනස පාසලෙන් අරඹමු
ලෝකයේ පිරිසුදුම රටවල් දහය අතර සිටින රාජ්‍යයකි ජපානය. ජපන් ජාතිකයන් තම ප්‍රජාවට සහ පරිසරයට අවංකවම ආදරය කරති. එම නිසාම පිරිසුදු පරිසරයක් සහ මනා අලංකාරවත් වටපිටාවක් ඇති රාජ්‍යයක් බවට ලෝකය පුරා ප්‍රසිද වී ඇත. ජපානයේ ඉතාම කාර්යබහුල ටෝකියෝ නගරයේ සිට වෙනත් ඕනෑම නගරයකට ගමන් කිරීමේ දී ඒ පිරිසුදු බව සහ අලංකාරත්වය දක්නට ලැබේ. එසේම ජපානයේ පිරිසුකම මිල අධික එකක් ද නොවන අතර සෑම ජපන් ජාතිකයකුමත් එරටට පැමිණෙන සෑම විදේශිකයකුමත් ජපන් රටේ පවතින මෙම පිරිසුදු බව රැකගැනීමට විවිධ අයුරින් කැප වී සිටින බව එහි ජීවත්වන කවරෙකුට වුවද දැනේ. මෙවැනි පිරිසුදු පරිසරයක් පවත්වාගෙනයෑමට බලපා ඇති හේතු අතර අධ්‍යාපනය, සංස්කෘතික අගනාකම්, රාජ්‍ය මැදිහත් වීම, අපද්‍රව්‍ය කළමනාකරණය, පොදු ප්‍රවාහනය, තාක්ෂණය හා නවොත්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, ප්රතිචක්රීයකරණය (recycling) සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාව යන සාධක හේතු වී ඇත.
ජපානය තුළ පිරිසුදු පරිසරයක් නිර්මාණය කිරීමේ ඇරඹුම පාසල සහ නිෙවස කේන්ද්‍රකරගෙන සිදු වී ඇත. අද වනවිට එය ජපානයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්ව ඇත. ජපානයේ පාසල්වල සහ නිවාසවල කුඩා ළමුන්ට පිරිසුදු බව මෙන්ම තම අවට පරිසරය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටීමට පුරුදු පුහුණු කරති. මෙය වගකීමකට එහා ගිය සංස්කෘතික පුරුද්දක් බවට පත්කොට ඇත. ජපන් ජාතිකයන් සම්පත් භාවිතයේ දී අවශ්‍ය දෑ පමණක් භාවිත කිරීමට යොමු වීම, වරක් භාවිතයට ගත් භාණ්ඩයක් නැවත භාවිතයට ගැනීමට දිරිමත් කිරීම සහ ප්‍රතිචක්‍රියකරණය සඳහා ජපන් ජාතිකයන් පුරුදුවී සිටීම කැපීපෙනෙන ලක්ෂණයකි. ජපන් ජාතිකයන්ගේ පිරිසුදු බව සහ සරල බව කියවෙන උදාහරණ ඕනෑතරම් කිව හැකිය. එක් සරල උදාහරණයක් වන්නේ ජපානයේ සුපර් මාර්කට්වල දී පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමේ දී ඒවා බහාලීම සඳහා ෂොපින් බෑග්ස් (Shopping bags) භාවිතය අවම කිරීමයි. එහි ෂොපින් බෑග්ස් නොමිලේ ලබා නොදෙයි. ෂොපින් බෑග්ස් අවශ්‍ය නම් ඒ සඳහා අතිරේක මුදලක් පාරිභෝගිකයා ගෙවිය යුතුයි. බොහෝවිට කුමන තරාතිරමක ජපන් ජාතිකයකු වුවත් ෂොපින් බෑග්ස් සඳහා අතිරේක මුදලක් වැය නොකරන අතර සෑම ජපන් ජාතිකයකුම පාහේ තමා නිෙවසින් පැමිණෙන විට අවශ්‍ය දෑ බහාලීම සඳහා උර එකක් හෝ කිහිපයක් ගෙනඒම පුරුද්දක් බවට පත්කරගෙන ඇත.
මේ හේතුකොටගෙන පරිසරයට නිකරුණේ මුදා හැරීමට සිදු වන පොලිතින් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකි වී ඇත. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. සාමාන්‍ය වෙළෙඳපොළේ සිට සුපර් මාර්කට් දක්වා භාණ්ඩ අලෙවි කරන සෑම මධ්‍යස්ථානයකම පාහේ විශාල වශයෙන් ෂොපින් බෑග්ස් මලුවල බහා පාරිහෝගිකයන්ට භාණ්ඩ ලබා දීම සිදු කරයි. ෂොපින් බෑග්ස් සඳහා මුදල් අයකිරීමක් සිදු නොකරයි. පාරිභෝගිකයන් ද තමන් විසින් මිල දී ගන්නා භාණ්ඩ බහාලීම සඳහා උරයක් නිෙවසින් රැගෙන ඒමට පුරුදු වී නොමැත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ සෑම දිනකම අතිවිශාල ෂොපින් බෑග්ස් විශාල සංඛ්‍යාවක් කිසිඳු වගවිභාගයකින් තොරව සිය නිෙවසට ගෙනගොස් අවසානයේ දී ශ්‍රී ලාකේය ජනයා විසින් පරිසරයට මුදා හැරීමයි.
ශ්‍රී ලංකාවේ පරිසරයේ අපවිත්රත්වය කියාපාන අවස්ථාවක් වන්නේ ගම හා නගර හරහා ගලා බසින බොහොමයක් ඇළ මාර්ග දැඩි ලෙස දුඟද හමන ප්ලාස්ටික් බෝතල් හෝ විවිධ නොදිරන ද්‍රව්‍යවලින් පිරී පැවැතීමයි. එපමණක් නොව බොහොමයක් නිවාසවලින්, ආපනශාලාවලින් සහ කර්මාන්ත ශාලාවලින් ඉවත්කරන අපවිත්‍ර ජලය සෘජුවම ගලා යන ඇළමාර්ග හෝ ගංගා වෙත මුදාහැර ඇත. මේ සඳහා සැලකිය යුතු ප්‍රමාණයක නීති ඇති නමුත් ඒවා පිළිපැදීමක් පුරවැසියන්ගේ පැත්තෙන් හෝ සමහර නිලධාරීන්ගේ පැත්තෙන් සිදු වී නොමැත. මේ ආකාරයට ජල මාර්ග අපවිත්‍ර කිරීම, ජපානයේ කිසි දිනක දක්නට ලැබෙන්නේ නැත. එහි සෑම මට්ටමකම ඇළ මාර්ග හෝ ගංගාවල ජලය ඉතා පැහැදිලි සහ විනිවිදව දැකිය හැකි ආකාරයෙන් පිරිසුදුව ගලා බසිති.
ඇළ මාර්ග අපිරිසුදු නොකරමු
විශේෂයෙන් කුඩා ප්‍රමාණයේ ඇළ මාර්ග කොතරම් පිරිසුදු ද කිවහොත් අලංකාර විසිතුරු මසුන් ඒවායේ ඇති කර තිබේ. අනෙක් අතට නාගරික ජනයා මෙම ඇළ මර්ගවලට කිසි දිනෙක ඉඳුල් වර්ග ඇතුළු පරිසරය අපවිත්‍ර වන දෑ මුදාහැරීමට කටයුතු නොකරයි. ඔවුහු ඒවා ආදරයෙන් රැකබලා ගනිති. ජපානයේ මාර්ග හෝ නිවාස අසල කුණුකසළ ගොඩවල් දක්නට නැත. විශේෂයෙන් විධිමත් ක්‍රමවේදයකට අනුව කුණු පුළුස්සා දැමීමේ ක්‍රමය (incineration system) භාවිතය නිසා කසළ ගොඩවල් ඇති කොට පරිසරය විනාශවී යෑම වළකා ගතහැකි වී ඇත. ජපන් ජාතිකයන් කසළ තම උර මත පතිත වූ කර්මයක් ලෙස නොසලකා ආර්ථික සම්පතක් බවට එය පත්කරගෙන ඇත. කසළ බැහැර කිරීමේ දී ප්ලාස්ටික්ල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යය, පිලිස්සිය හැකි ද්‍රව්‍ය සහ පිලිස්සිය නොහැකි ද්‍රව්‍ය වශයෙන් වර්ග කරන ලද කසළ නගර සභාව විසින් එකතු කරනු ලබයි. මෙම කසළ එකතු කරගෙන යන දින පිළිබඳව තොරතුරු ඇතුළත් කරන ලද කැලැන්ඩරයක් වර්ෂය ආරම්භයේ දී නගර සභාව විසින් සැම නිෙවසකමටම ලබා දෙන අතර ඒ කාලසටහනට අනුව කසළ එකතු කිරීම නිසියාකාරව සිදු වේ. එසේම ඉවතලන කසළ දැමීම සඳහා සෑම නාගරික බලප්‍රදේශයකම එක ලෙස භාවිත කළ හැකි වර්ණ කිහිපයකින් යුත් උර හඳුන්වා දීමට කටයුතු කර ඇත. එයට අමතරව විශාල පරිමාණයේ අපද්‍රව්‍ය හෝ ඉවත ලද ඉලෙක්ටොනික භාණ්ඩ බැහැර කිරීමට ඒවා එකතු කරන මධ්‍යස්ථානවලට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ඔවුන් නිෙවසටම පැමිණ රැගෙන යෑම සිදු කරයි. අනෙක් අතට කසළ ඉවත් කිරීමට පැමිණෙන නගර සභාවේ සේවකයන් බොහෝවිට එක් අයකු හෝ උපරිම දෙදෙනකු වන අතර කසළ ප්‍රවාහනයටම සාදන ලද විවිධ පරිමාණයේ ට්‍රක් රථ (Truchs) යොදාවා ඇත. කසළ එකතු කිරීමට පැමිණෙන සේවකයන් ද ඉතා පිරිසුදු මැදි වියේ, තරුණ, ශක්තිමත් ගැහැනු සහ පිරිමි වන අතර ඔවුන් ඉතාම කාර්යක්ෂම ලෙස සිය රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කරයි. එසේම මෙම සේවකයන්ට ජපානයේ අනෙකුත් වෘත්තීන් සඳහා ගෙවන ආකාරයේ හොඳ වැටුපක් ද ලබා දීමට කටයුතු කර ඇත.
ජපානයේ ආදර්ශය
ජපානයේ නිවාසවලින් බැහැර කරන කසළ එක්රැස්කිරීමේ සිට ප්‍රතිචක්‍රියකරණය දක්වා වූ ශක්තිමත් යන්ත්‍රණයක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ජපානයේ නගර සභාවක කසළ අංගණයක් ගතහොත් එය එක්තරා ආකාරයක විදුලි බලාගාරයක් වැනිය. කසළ දහනය කිරීමෙන් ඔවුන් විදුලිය උත්පාදනය කිරීමට ද කටයුතු යොදා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ යන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් මේ දක්වා වූ බලධාරීන්ට තිබී නොමැති බව පෙනේ. මන්ද සෑම උදෑසනකම දැකීමට හැකි වන්නේ සේවකයන් විශාල සංඛ්‍යාවක් සහිත පරණ ට්‍රැක්ටර් රථයක කිසිඳු සෞඛ්‍යමය අවධානයකින් තොරව වැඩ කරන වියපත් සේවයකයන්ය. බොහෝ විට ඔවුන්ට වැඩ කිරීමට හැකි නිරෝගී සෞඛ්‍යයක් නොමැති බව පෙනේ. එසේම නගර ආශ්‍රිතව කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථවල සේවකයන් එල්ලී ගමන් කරන අතර කාඩ්බෝඩ්, ප්ලාස්ටික් කෑන්ස් හෝ වෙනත් බොහෝ කසළ ද්‍රව්‍ය ඉටි උරවල බහා ට්‍රැක්ටර් රථයේ එල්ලාගෙන යන දර්ශන දකින වාර අනන්තයි. අනෙක් අතට නාගරික බලප්‍රදේශවල සමහර විට කසළ එකතු කිරීමට පැමිණෙන නගර සභා සේවකයන් නිවෙස් තුළින් කසළ ගෙනයෑමට යම් මුදලක් ද අවිධිමත් ලෙස අයකිරීමක් කරනු ලබයි. මෙයින් ක්රියාපාන්නේ ශ්‍රී ලංකාවේ පවතින කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළ අසාර්ථක වී ඇති බවයි. කසළ කළමනාකරණය පළාත් පාලන ආයතනවල ප්‍රධාන කාර්යයක් වුවත් එය නිසි ලෙස ඉටුකර නැති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ එදිනෙදා මිනිසුන් කෑමට ගන්නා ආහාර සම්බන්ධයෙන් සලකා බැලීමේ දී පෙනීයන්නේ ඒවායේ පවතින අපිරිසුදු බවයි. ආහාර ප්‍රවාහනයේ දී පිළිවෙළක් නැතිවාක් මෙන්ම ආහාර ද්‍රව්‍ය අලෙවියේ දී තබා ඇති ස්ථාන ඉතා අපිරිසුදුයි. ශ්‍රී ලංකාවේ නාගරික බලප්‍රදේශවල මෙම අපිරිසුදුභාවය බහුලව දැකිය හැකියි. එසේම කල්ඉකුත් වූ ආහාර අලෙවිය, ආහාර කල් ලබා ගැනීමට භාවිත කරන මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතාව වැනි කූට වැඩ නිරන්තරයෙන් ජනමාධ්‍ය තුළ වාර්තා වන සිදුවීම්ය. නමුත් ජපන් ජනයා සිය ආහාර වේල ලබා ගන්නේ ඒ සඳහා ගෞරවය ප්‍රකාශ කිරීමෙන් පසුවයි. කිසි විටෙකත් ජපානයේ ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයා නොමඟ යැවීමට උත්සාහ නොකරයි. සෑමවිටම ආහාර පිරිසුදුව ලබා දීමට ඉහළ ප්රමුඛත්වයක් ලබා දෙන බව පෙනේ. ජපානයේ සෞඛ්‍ය අංශ සහ ඒ හා සම්බන්ධ බලධාරීන් තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට කැපවී සිටීම ද මේ සඳහා හේතු වී ඇත.
ජපන් සමාජයේ පුරවැසියන්, සිය සනීපාරක්ෂාව සඳහා ලබා දී ඇත්තේ ඉතා ඉහළ ප්‍රමුඛත්වයකි. ඒ සඳහා සෑම පොදු ස්ථානයක්ම ආවරණය වන පරිදි පුරවැසියන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන ආකාරයේ පහසුකම් ලබා දී ඇත. ඒ සඳහා මුදල් ගෙවීමක් කිරීම ද අවශ්‍ය නැත. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ ඉතා අඩු අවධානයකි. මේ සම්බන්ධයෙන් බලතල සහ වැඩි වගකීම හිමි පළාත් පාලන ආයතන, අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා දී ඇති දායකත්වය අවම මට්ටමක පවතියි. බොහෝ නගර ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සඳහා කටයුතු කර ඇතත් ඒ සඳහා මුදල් අය කිරීමක් සිදු කරයි. එහෙත් සනීපාක්ෂක පහසුකම් සපයන ස්ථානවලට ඇතුළුවීමට නොහැකි වන තරමටම එම ස්ථාන අපිළිවෙලයි, අවලස්සනයි සහ අපිරිසුදුයි. සංචාරකයන් ආකර්ෂණීය කර ගැනීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සනීපාරක්ෂක පහසුකම්වල අපිළිවෙළක් පැවතීම අනුමත කළ නොහැකියි.
ශ්‍රී ලංකාවට ද මේ ආකාරයේ පිරිසුදු පරිසරයක් උදාකර ගැනීමට නම් පළමුව පුරවැසියන් ඒ සඳහා කැපවීමෙන් යුතුව සහාය දිය යුතු වේ. එසේම ජපන් ජනතාව මෙන් පරිසර හිතකාමී සහ සමාජ හිතවාදී ආකල්ප ශ්‍රී ලංකේය පුරවැසියන් තුළ ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි. මේ ආකාරයට පිරිසුදු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම එක් අතකින් ශ්‍රී ලංකිකයන්ගේ සෞඛ්‍ය අවධානම අඩුවනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට ද පත්වීමට එය හේතු වේ.
DMN