ඇමැති වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය අඩු කරයි – ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පහසුකම් සැලසීම සඳහා වන උපදෙස් ලෙස එම ලිපිය අමාත්‍යාංශ ලේකම්වරු වෙත නිකුත් කර ඇත.

ඒ අනුව ඇමැතිවරයකුගේ පෞද්ගලක කාර්ය මණ්ඩලය සඳහා පත්කර ගතහැකි උපරිම සංඛ්‍යාව 15ක් ලෙසත් නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පත්කර ගතහැකි උපරිම සංඛ්‍යාවක් ලෙසත් එහි සඳහන් කර තිබේ. ඒ අනුව ඇමැතිවරයකු සඳහා පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු 2ක්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරියකු, පෞද්ගලික සහාකර, කළමනාකරණ සහකාර 5ක් කාර්යාල කාර්ය සහායක 2ක් හා රියැදුරු 2ක් ලෙස පත්කර ගත හැකිය.

නියෝජ්‍ය ඇමැතිවරයකු සඳහා සම්බන්ධීකරණ ලේකම්වරු 2ක්, කළමනාකරණ සහකාර 3ක් සහ අනෙකුත් තනතුරු සඳහා එක් අයකු බැගින් බඳවාගත හැකි අතර නියෝජ්‍ය ඇමැතිවරයකුට පෞද්ගලික සහකාර තනතුරු සඳහා බඳවාගත නොහැකිය.

මේ තනතුරු සඳහා තමන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් පත්කර ගත නොහැකි බව ද එහි සඳහන්ය. අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර, වාහන, ඉන්ධන, දුරකතන සහ අනෙකුත් පහසුකම් සඳහා වන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද මෙහි දක්වා තිබේ. අමාත්‍යවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයකු සඳහා වෙන් කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිමය දෙකක් බවත් එහි සඳහන්ය. එමෙන්ම ඇමැතිවරයකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට උපරිම වශයෙන් ලැබිය යුතු නිල රාජකාරී දුරකතන සම්බන්ධතා සහ ඒ ඒ කාර්ය මණ්ඩලවලට දිය හැකි දුරකතන සම්බන්ධතා ගැන ද එහි දක්වා ඇත. ඔවුන්ගේ දුරකතන වියදම් දරන සීමාව ද එහි දක්වා ඇති අතර කාර්යාල හා නිවාස සඳහා උපරිම සීමාව රුපියල් 20,000ක් වන අතර ජංගම දුරකතන සඳහා රුපියල් 10,000ක් ලෙස එය දක්වා ඇත.

කාර්ය මණ්ඩලය සඳහා වන දුරකතන ගාස්තු ද එහි දක්වා ඇති අතර ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා රජයේ වියදමින් දුරකතන හා උපකරණ ලබා නොදිය යුතු බව ද සඳහන්ය.

Leave A Comment