සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින් ස්ථාන මාරු අර්බූදයක – GMOA
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ආයතන සංග්‍රහය, රාජ්‍ය කොමිෂන් සභාවේ කාර්ය පරිපාටිගත රීති සහ අදාළ චක්‍රලේඛයන්ට අනුකූලවය. එහිදී ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ලැයිස්තු ක්‍රියාත්මක විය යුතු කාල රාමුව පවා ආයතන සංග්‍රහය තුළ නිශ්චිතව සඳහන් කර ඇත.
ඒ අනුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2025 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු අවසන් ලැයිස්තුව 2024.11.01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුණ ද, මෙතෙක් එහි ඉල්ලුම් පත්‍රය පවා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අක්‍රමවත් ක්‍රියාකාරීත්වයට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල් ද්විත්වය සම්බන්ධයෙන් ගත් අත්තනෝමතික තීරණයක්ද මීට හේතු වී ඇත.
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ එහි සේවාවන් වඩා පුළුල් කිරීමේ අරමුණින් 2013 වර්ෂයේදී කොරියානු රජයෙන් ලැබුණු ආධාර මත මාතර රෝහලට කිලෝමීටර් 10 ක් ඈතින් පිහිටි කඹුරුගමුව ප්‍රදේශයේ මෙම නව දිස්ත්‍රික් මහ රෝහල ඉදි කරන ලදී. එම ව්‍යාපෘතියේ කොටසක් සම්පූර්ණ කර 2013 වර්ෂයේදි රෝගී සත්කාර සේවාවන් ආරම්භ කරන ලද අතර මේ වන විට ප්‍රසව හා නාරි ඒකක, ළමා රෝග ඒකක, නොමේරු ළදරු ඒකක, විකිරණවේදි අංශය, පිලිකා රෝගී අංශය සහ බාහිර රෝගී අංශයක් එහි ස්ථාපිත කර සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
එහෙත් අදාල ව්‍යාපෘතිය මේ වන විට අතර මඟ නතර වී ඇති අතර ආධාර ව්‍යාපෘතියද අත්හිටුවී ඇත. අඩක් නිමවී ඇති කඹුරුගමුව නව රෝහලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් ද මෙතෙක් නොමැත. තත්ත්වය එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සමයේදී වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සඳහා මෙම රෝහල් ද්විත්වය ආයතන දෙකක් සේ සලකන ලදී.
ඒ අනුව කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කරනු ලැබූ 2013 වර්ෂයේ සිට පසුගිය වසර දක්වා එම රෝහලත්, මාතර දිස්ත්‍රික් මහ රෝහලත්, රෝහල් දෙකක් සේ සලකා එම ආයතන අතර ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක විය.
එහෙත් එක්වරම 2024 වර්ෂයේ සිට මෙම රෝහල් දෙක අතර ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබාදීම අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ හරහා එම රෝහල් ද්විත්වය අතර ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ස්ථාන මාරු නියෝග රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් එම වෛද්‍යවරුන් පිරිස දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
එවන් තීරණ අවම වශයෙන් වර්ෂය ආරම්භයේදීවත් ප්‍රකාශයට පත්විය යුතු වුවද, 2024 වාර්ෂික ස්ථාන මාරුව ලැයිස්තුව ප්‍රකාශයට පත් වූ පසුව එම තීරණය ප්‍රකාශයට පත්වීම මෙම ගැටලුව තවත් තීව්ර කර ඇත.
මෙම රෝහල් ද්විත්වය මෙන් රට පුරා එකිනෙකට ආසන්නයේ ඇති මෙන්ම එකම භූමි පරිශ්‍රයේ පිහිටා ඇති රෝහල් අතර ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ට ස්ථානමාරු යා හැකි ආයතන ගණනාවක් තිබියදි මාතර සහ කඹුරුගමුව රෝහල් ද්විත්වය සදහා පමණක් මෙවන් තීරණයක් ක්‍රියාත්මක වීම විමතියට කරුණකි.
වෛද්‍යවරුන් එසේ අපහසුතාවයට ලක්වීමට අමතරව මාතර සහ කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල් අතර වාර්ෂික ස්ථාන මාරු අවහිර වීම පිළිබඳ ගැටලුව මෙතෙක් නොවිසඳීම 2025 වර්ෂයේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රමාද වීමට ද හේතු වී ඇත.
මෙම ගැටළුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ගේ අකාර්යෂමතාවයත් හේතුවෙන් වෛද්‍යවරුන් 5000 කට අධික ප්‍රමාණයක් ආසාධාරණයට ලක්ව ඇත.
මාතර සහ කඹුරුගමුව රෝහල් අතර ගැටලුව විසඳීම සඳහා අදාළ සියලු පාර්ශව එක්කර ගනිමින් කටයුතු කිරීමත්, ඊට අදාළ ලේඛන, තොරතුරු සහ තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය, දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කරමින් අවශ්‍ය සහයෝගය ද ලබා දුන්නද, තවමත් තම වගකීම ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම කණගාටුවට කරුණකි.
මේ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් සහ රට පුරා වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් මුහුණ පා ඇති අසාධාරණය සහ දුෂ්කරතාවය සඳහා සම්පූර්ණ වගකීම, මෙම ගැටලුව විසඳීම දිනෙන් දින කල් දමමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතුය.
අදාළ සියලු පාර්ශවද එක් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දුන්නද, මෙම ගැටළුව විසඳීමට කල්මරමින් සිටින ඇතැම් නිලධාරීන්ගේ අරමුණ සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීම ද යන බරපතළ සැකය මතු වී ඇත.
මෙම ගැටළුව විසදීමට නම් මාතර සහ කඹුරුගමුව රෝහල් එකිනෙකින් ස්වාධීන සෞඛ්‍ය සේවා ආයතන දෙකක් සේ සලකා එම රෝහල් අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සඳහා අවස්ථාව ලබා දිය යුතුය.
එමෙන්ම මේ වන විට අත්හිටුවා ඇති 2024 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවේ වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ස්ථානමාරු නැවත බලාත්මක කළ යුතුය.
මාතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් සහ රට පුරා වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් අසාධාරණයට ලක් කරමින්, මාතර දිස්ත්‍රික්කයේ රෝගී ජීවිත ද අවධානමට ලක් කරමින් ක්‍රියාත්මක වන මෙම අත්තනෝමතික තීරණය ආපසු හරවා සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය බලධාරීන් වහාම කටයුතු නොකරන්නේ නම්, එළඹෙන සතියෙන් අනතුරුව ඕනෑම මොහොතක වෘත්තිය ක්‍රියාමාර්ගවලට වුව ද එළඹීමට සිදුවනු ඇත.
එබැවින් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුනරුදයක් කරා රැගෙන යන ගමනේදී, මෙවන් අසාධාරණ සහ අත්තනෝමතික තීන්දු තීරණත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වයත් නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සෘජුව මැදිහත් විය යුතු බව අප විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය උපරිම සාධනීය සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඕනෑම මොහොතක සූදානම්ය.