ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය, ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරයේ යටගියාව
- 5opn1
- January 30, 2025
- සංචාරක සහ චාරිකා
- 0 Comments
විසි එක්වැනි සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනෙකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි විශාල ජණගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කරගැනීමට සමත්වීම නිසාය. ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16 වැනි සියවසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරන ව්‍යාපෘතීන් ආසියානු රටවල් වල ශිෂ්ඨාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ පසුවිපරමක් කිරීම කාලෝචිතය.
වසර පන්සියයක කාල පරාසයක් බටහිර රටවල යටත් විජිත සහ නාවික ශක්තිය හමුවේ ආසියානු මහාද්වීපයේ රටවල් දැඩි පසුබෑමකට ලක්විය. බටහිර අධිරාජ්‍ය වල බලපෑම මත සෑම ආසියානු රටකම සංස්කෘතිය ආර්ථිකය සහ රාජ්‍ය පාලන ක්‍රමවේදය සමිපූර්ණයෙන්ම වෙනස් වීය. ආසියානු ශිෂ්ඨාචාරය පොදු මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමණයට කර ඇති දායකත්වය සුළු පටු නොවන බව ඒ පිළිබද අධ්‍යයනයක් කිරීමේදී පැහැදිලි වේ. නිදහස් චින්තනය සොබාදහම රැක ගැනීම සහ පරිසරයේ වෙසෙන සියළු ජීවීන් සමග සහයෝගයෙන් ජීවත්වීමට මිනිස් සමාජය හුරු කරවීම, යනාදිය ආසියානු සංස්කෘතියට ආවේණික වටිනාකම් වන අතර, එවා බටහිර ජීවන රටා පොළඹවන සංස්කෘතියට හා අගයන්ට හාත්පසින්ම වෙනස් වේ. කෙටි කාලීන ආර්ථික ප්රතිලාභයන් ඉලක්ක කර ගනිමින් ස්වාභාවික සම්පත් සහ පරිසරය විනාශ කරවීමෙි ආදීනව වර්තමානයේ සියළු සත්ව ප්‍රජාවන්ට එක හා සමානව අත්විදීමට සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.
යටත් විජිතකරණ මානසිකත්වය සොභාදහම කෙරෙහි කිසිම තැකීමක් නොකර භෞතික සම්පත් සුඛ විහරණයට යොදාගැනීමට උපයෝගී කරන රේඛීය අර්ථ ක්‍රමය සම්මතයක් කර පවත්වාගෙන යනු ලැබේ. මෙකී ක්‍රියාදාමයන් මානව ශිෂ්ඨාචරයේ තුලනාත්මකව පවත්වාගෙන යාමට අභියෝග රැසක් එල්ල කර තිබේ. සොබාදහමට එරෙහි කටයුතු සියල්ලටම ලෝකවාසී සියළු දෙනාටම වන්දි ගෙවීමට සිදුවන බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. කාලගුණික දේශගුණික විපර්යාස නිරන්තරයෙන් අනතුරු අගවයි.
ධරණීය සංවර්ධණ ඉලක්ක චක්‍රය අර්ථ ක්‍රමවේදයන් ඔස්සේ අත්කර ගැනීම
පරිසරය සහ ස්වාභාවික සම්පත් ක්‍රමවත්ව කලමනාකරණය කරන ධරණීය සංවර්ධන මාවතකට යොමුකරවීමේ වගකීම දැන් ආසියාව වෙත පැවරෙන වග නව භූ දේශපාලන සහ ආර්ථික ගතිකත්වයන් ඉස්මතු කරයි. බටහිර රටවල් රේඛීය අර්ථ ක්‍රමය තුලම සිරවෙද්දී ආසියානු රටවල් තම රටවල් වලට උචිත චක්‍රය අර්ථ ක්‍රමය හඳුනාගෙන ඊට අනුරූප සංවර්ධණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරවීමට නව පුනරුදයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකරයින්ගේ මූලික අභිප්රය කරගැනීම නුවණට හුරුවේ.
ඉන්දුනීසියාවේ බෝරෝබුදූර් බෞද්ධ සිද්ධස්ථානය නැරඹීමට 2019 දී මෙම ලියුම්කරුට හැකි විය. එම සංචාරයෙන් අනතුරුව ලබාගත් තොරතුරු කැටිකොට මෙම ලිපිය ආසියානුවන් සතුවූ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික විශිෂ්ඨත්වය විස්තර කරවීමට මෙම සටහන පෙළගස්වමි.
ආසියානු ශිෂ්ඨාචාරයේ ප්‍රගමණයට බුදු දහමේ බලපෑම
යටගිය ආසියානු ශිෂ්ඨාචාරයට බුදු දහම දැඩි බලපෑමක් කර තිබෙන බවට පිළිගත හැකි ඓතිහාසික සාධක බොහෝමයක් තවමත් ඉතිරිව ඇත. ඉන්දුනීසියාවෙි බොරෝබුදූර් විහාරය ඉන් එක් ඓතිහාසික සංස්කෘතික ස්මාරකයකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ මයුර වංශික අසෝක අධිරාජ්‍යයා බුදු දහම ලොව පුරාම ව්‍යාප්ත කරවීමට කටයුතු ආරම්භ කලේය. ඔහුගේ පුරෝගාමීත්වයෙන් බුදු දහම ඉන්දියාවේ සිට ගොඩබිමින් පළමුව, ගාන්ධර්ව දේශය හරහා චීන අධිරාජ්‍යයට ලඟ වීය.
එම කාලසීමාවේදීම බුදුදහම ශ්‍රී ලංකාවටත් ලඟාවීය. පසුකාළීනව බුදු දහම මුහුදු මාර්ගයන් ඔස්සේ අග්නිදිග ආසියාවට සහ ජපානයට පැමිණ ඇති බවට සාක්ෂි සොයාගෙන ඇත. බුදු දහම පිළිබඳව හටගත් උද්යෝගය, චීනයේ සිටි විවිධ පාලකයින්ගේ අනුග්‍රහය හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට පැමිණ බුදු දහම හදාරා ධර්මය ග්රන්ථාරූඩ කොට චීනයට ගෙනගොස් ඇත. චීනය හරහා බුදු දහම කොරියාවට, වියට්නාමයට සහ ජපානයට ව්‍යාප්තව තිබේ. ගොඩබිමින් පතුරුවන ලද දහම බොහෝවිට මහායාන සමිප්රදායක් අනුගමනය කරනවිට මුහුදු මාර්ගයන් ඔස්සේ හීනයාන නොහොත් ථේරවාද සම්ප්‍රදායට මුලිකත්වය දුන් බවට පවතින විශ්වාසයයි.
මාතෘකාවට පාදක වන බොරෝබුදූර් විහාරය දැනට ඉදීවී තිබෙන විශාලතම බෞද්ධ ආගමික සිද්ධස්ථානයයි. ක්‍රි.ව. 8 සහ 9 වැනි සියවසේ දැනට ඉන්දුනීසීයාවේ ජාවා දූපත් ශෛලේන්ද්‍ර රාජ වංශයේ සමරතුංග නමින් රජකරන ලද පාලකයකු සමයේදී විහාරයේ ගොඩනැගීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම යුගයේදී බුදු දහම ආසියාව පුරාම ව්‍යප්තව තිබී ඇත. අදියර සතරකින් නිමකර ඇති විහාරයේ ඉදිකිරීම් ක්‍රි.ව. 780 සිට 833 කාල පරිච්ඡේදය තුල සිදුවු වග ශිලා ලේඛණ ගතව තිබේ. වර්ග මීටර් 113X113 හරි හතරැස් භූමි භාගයක විශේෂ පාෂාණ වර්ගයින් සකස් කල විවිධ හැඩතල ගත් කිසිම බදාමයකින් සම්බන්ධ නොවූ ගඩොල් සමූහයකින් මුළු විහාරයම තනා ඇත. වර්තමානයේ භාවිතාවන ලිගෝ කැබලි එකතුකර තණන නිර්මාණයන් මෙන් ඉතාමත් සූක්ෂමව සෑම කොටසක්ම එකිනෙක සම්බන්ධ කර තිබේ. මුළු විහාරය ඉදිකරවීමට යොදාගත් ගඩොල් ප්‍රමාණය ඝණ මීටර් 55000 පමණ වන බවට ගණනය කොට ඇත.
ශෛලේන්ද්‍ර රාජ පාලනය දුර්වලවී ජාවා දූපත් වලින් ඉවත් වීමත් සමග බොරෝබුදූර් විහාරය සහ අවට නඩත්තු කටයුතු සදහා යොදාගත් ඉඩ කඩද ජරාවාස වීම සිදුව ඇත. බොරෝබුදූර් විහාරයේප්රථිසංස්කරණය සිදුව ඇත්තේ 19 වැනි ශත වර්ෂයේදීය. මෙම නටබුන් ගරාවැටුණු විහාරය සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අග්නිදිග ආසියා යටත් විජිත කටයුතු පාලනය කල ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසිනි. සිංගප්පූරුව ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් කරවීමට මූලිකත්වය ගෙන ඇත්තේද ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස්. බොරෝබුදූර් විහාරය වර්තමානයේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක උරුමයක් වීමට පාත්රවීම සදහා මුල් වන්නේ ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් වැනි යුග පුරුෂයින්ගේ මග පෙන්වීමය. බටහිර ජාතීන්ගෙන් ආසියාතිකයින්ට කොතරම් අරියාදු සිදුවූවද අපගේ පුරාවස්තූන් සංරක්ෂණයට මානව හිතවාදීව කටයුතු කල බටහිර රටවලින් පැමිණි යුග පුරුෂයින්ට අපගේ ගෞරවය හිමිවිය යුතුවේ. 1815 ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසින් ප්‍රථිසංස්කරණ කටයුතු ආරම්භයේදී ගන්නා ලද ඡායාරූපයක් පහතින් දැක්වේ. ඉහත විස්තර කරන ලද කරුනු එම ඡායාරූපයෙන් පැහැදිලි වේ.
බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යූහය සහ වාස්තුවිද්‍යාත්මක තාක්ෂණය
බොරෝබුදූර් විහාරය තැනීමට යොදාගත් සැළසුම සහ තාක්ෂණය පිළිබදව පාඨකයින් දැනුවත් කරවීමට ලිපියේ ඉතිරි කොටස වෙන් කරන්නෙමි.
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ගිණි කදු පුපුරායාමෙන් මතුවූ භූමි භාගයන්ය. එබැවින් එහි අඩංගු පාෂාණ වර්ගද විෂේශ සංයුතියක් ගනී. බෝහෝවිට කැටයම් කැපීමට සහ සැහැල්ලු ගඩොල් තනාගැනීමට එවකට සිටි ගල්වඩුවන් මෙකී විශේෂිත ශෛලමය පර්වත තෝරාගෙන විහාරයේ නිර්මාණ තනා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කර ඇත. නිතර භූ චලන සහ භූමිකම්පාවලට පත්රවන ජාවා දූපත්වල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන භූ චලනයන්ගේ ඇතිවන දෙදරවීම් විහාරයේ ලිහිල්ව සම්බන්ධව ඇති ගඩොල් හරහා විහිදීයෑමට සරිලන සේ අසුරා තිබී ඇති බවට අනුමාන කල හැක. බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යූහය භූ චලන වලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කරවීමට සුදුසුම තාක්ෂණය එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන් සතුව තිබී ඇත. මෙම විහාරය ඉදිකරවීමේ වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පියා “ගුණධර්ම” යන නමින් පෙනී සිටි අයෙකු බවත් ඉන්දියාවෙි ගුප්ත වාංශික අධිරාජ්‍යයෙන් යම් උපදෙස් ලැබෙන්නට ඇතැයි යන්න පවතින තවත් විශ්වාසයකි.
බොරෝබුදූර් විහාරයේ මා දුටු විශේෂත්වය නම් බුදු දහමේ මූලික හරයන් මත පිහිටා විහාරයේ ඉදිකිරීම් සැලැස්ම ගොනුකරවීමයි. අමාමහ නිවන ලඟාකරවා ගැනීමට ඉෂ්ඨ සිද්ධ කරගත යුතු දසපාරමිතාවන් සපුරාගත යුතු ආකාරය වටහා ගැනීමට පහසු වනු වස් විහාරයේ ව්‍යූහය සකස්කර ඇත. විහාර ව්‍යූහයේ හරස්කඩක් විමර්ශණය කරවීමින් සිටී. (පහතින් දැක්වෙන ආකෘතිමය රූසටහන සහිත ඡායාරූපය බලන්න)
විවිධ ස්ථරවලින් පිහිටි ප්‍රධාන ඒකක දහය කාමධාතු, රූපධාතු සහ අරූපධාතු සහ අවසානයේ අමාමහ නිවන වෙත ලගාවිය හැකි බවට තේරුම් ගැනීමට පහසුවන ආකාරයට ගොඩනගා තිබීම මෙම බෞද්ධ සිද්ධස්ථානයේ ඇති විශේෂත්වයයි. දඹදිව වන්දනා චාරිකා හමාර කර ඇති ශ්‍රී ලාංකේය බොදුනුවන්ට ධර්මය වටහාගැනීමට පහසු ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි බොරෝබුදූර් විහාරය අගනා සංචාරක ස්ථානයකි.
| ජයශ්‍රී ප්‍රියලාල්
2025, ජනවාරි 25