ටිබෙට් සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේ 38නමක් ශ්‍රී ලංකාවට

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යටතේ ටිබෙට් ජාතික සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 38 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

දින 15 ක අධ්‍යයන චාරිකාවක් සඳහා ඔවුන් මෙලෙස ඊයේ(01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලෙන් පැමිණ ඇත.

මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට ටිබෙට් ජාතික භික්ෂූන් වහන්සේලා 25 දෙනෙකු සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු ඇතුලත්ය.

ඔවුන් අනුරාධපුරය , දඹුල්ල , සීගිරිය , මහනුවර , ශ්‍රී පාදස්ථානය , කළුතර , සහ කැළණිය යන ස්ථාන වල එළඹෙන 08 දින දක්වා වන්දනා චාරිකාවක නිරත වීමටයි නියමිතව ඇත.

අනතුරුව එළඹෙන 14 දින දක්වා අධ්‍යයන සැසි කීපයකට ද සහභාගී වීමට නියමිතය.

මෙම භික්ෂූන් වහන්සේලා ඉන්දියාවේ බැංගලෝර් සහ තායිලන්තයේ බැංකොක් සිට ඊයේ රාත්‍රී 10.00ට පමණ ගුවන් යානා දෙකකින් පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරන බෞද්ධ සහෝදරත්ව පදනමේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

කටුනායක ටී.කේ.ජී.කපිල

Leave A Comment