එකම අංකයේ කාර් දෙකක් දෙහිවලින් – කැලණියෙන් අල්ලයි

එකම ලියාපදිංචි අංකයක් සහිතව මහ මඟ ධාවනය කෙරුණු ටොයෝටා ප්‍රියස් වර්ගයේ සුදු පැහැති මෝටර් රථ දෙකක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් පෙරේදා (12) සොයාගෙන ඇත.

මෙහි පළමු මෝටර් රථය දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදී පොලිස් භාරයට ගෙන ඇති අතර දෙවැනි රථය කැලණිය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

මෙම රථ දෙකටම ලියාපදිංචි සහතික ද තිබී ඇත. වාහන දෙකේම චැසි සහ එන්ජින් අංක ද එකිනෙකට වෙනස් බව සඳහන්ය. ඒ අතරින් සැබෑ ලෙසම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහනය සහ ව්‍යාජ අංකය සහිත වාහනය සොයා වාහන දෙක අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ දෙහිවලින් සොයා ගත් වාහනය සැබෑ එකක් බවත් කැලණියෙන් සොයාගත් වාහනය ව්‍යාජ එකක් බවත්ය. මෙම වාහන දෙකම පරිහරණය කළ පුද්ගලයන් ව්‍යාපාරිකයන්ය.

එකම අංකය සහිත වාහන දෙකක් දෙහිවල සහ කැලණිය දළුගම ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම බළකායේ බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන් ජයලාල් (428) සහ කොස්තාපල් උදයකුමාර (84889) යන නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.

ගයාන් කුමාර වීරසිංහ, හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ, පාණදුර සංචාරක සුමිත් පොතුපිටිය

Leave A Comment