සීතාම්බර පට හැඳි නීතිඥ සංගමයට අනුකම්පා කරමු – නීතිපති දෙපාර්තමේන්තුව ජනසතු කරමු !!

සමාජ මාධ්‍ය ඇඩ්මින්ලා (මෙටා වේදිකාව ප්‍රමුඛව)  පළමුවද, දෙවනුව ප්‍රධාන ප්‍රවාහයේ  රූපවාහිනී නාලිකාගත ප්‍රවුත්ති විකාශ මගින්ද, අනතුරුව උදෑසන පුවත්පත් කියවන සම්ප්‍රවේෂක කාරකාදීන් විසින් ද ජනගත කරනු ලබන දවසේ පුවත් ප්‍රමාණය අති විශාලය.

ඒ සියලු පුවත් අවශ්‍යයෙන්ම ජාතික වැදගත්කමක් දරනු ඇතැයි ඔබ කිසිසේත් විශ්වාස නොකළ යුතුය. එය බොහෝ විට පණිවුඩකරුවාගේ අභිලාශය මූර්තිමත් කරන නිර්මාණාත්මක හෝ ප්‍රචාරාත්මක මාධ්‍යමය විවරණ විය හැකිය. අනෙක් පසින්  අප නව මාධ්‍ය යුගයක පෙරළිකාර නිමැවුම් මධ්‍යයේ දිවි ගෙවූවද අප නිරතුරු වෙළාගත් ”එකෝ චේම්බරයෙන්’ (Echo Chamber) ද මිදී සිටීම පහසු නැත. (ඊට සමගාමී සුහුරු සිංහල භාෂාගත අරුතක් ගැබ්වන තනි වදනක් දෙකක් සොයා ගැනීම නම් ඉතා අසීරුය). එකෝ චේම්බරය යනු ජනයා හැමවිටම තමනට හුරු සහ සුවපහසු ඇදහීම් හා විශ්වාස ගැබ්වන දේ සමඟ වැඩිවැඩියෙන් බැඳෙමින් ඊට සමාන්තරව බාහිරින් පැමිණෙන විකල්ප ධාරාවේ මත දරාගැනීමේ අභිලාශයක් නොපෙන්වීමයි. සමාජ මාධ්‍ය බොහෝ විට ක්‍රියාකරන්නේ මේ එකෝ චේම්බරයේ දිශානතිය පරිදි බව ඒ පිළිබඳ විමසීමෙන් පැහැදිළි වේ.

මේසා මඳක් දිගු ප්‍රවේශයක් වෙත අවතීර්ණ වූයේ පසුගිය සතියේ නින්නාද වූ වඩා වැදගත්ම කථිකාව නිවැරදිව සළකුණු කරනු පිණිසය. ඒ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) විසින් තම අස්සන යොදා නිකුත් කල ලිපියක් මඟින් සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට අවැසි කාර්යයන් බලාත්මක කරනු පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇමතූ ලිපියකි.  එමඟින් ජාතික ජනබලවේග ආණ්ඩුවේ අලස දැක්ම මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සුපුරුදු අනම්‍ය හා සම්ප්‍රදායික පිළිවෙත සදය උපහාසයට බඳුන් වූවා පමණක් නොවේ, නීතිඥ සංගමයේ  අලජ්ජි හා නොවැදගත් කඩා පැනීමද අසන්නන් හා දකින්නන් වෙත අවශ්‍ය තරමේ විනෝදයක්  සැපයීමට සමත් විය.

ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීම යනු ජනතාව සතුව තව දුරටත් අපේක්‍ෂා මාත්‍රයක් (Glimmer of Hopes)  පැවතියේය යන්නයි. එකී අපේක්‍ෂා ගොන්නේ අඩුවක් නැතිව පැවති එක් ජන ඝෝෂාවක් වූයේ නීතියේ ආධිපත්‍යය නැවත තහවුරු කරනු යන්නයි. එබැවින්  ”පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” නම් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට එකල අපමණ  අගයක් ලැබිණි. මෙරටේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කරන ලද ක්‍ෂේම භූමිය ‘නීතිපති දෙපාර්තමේන්තුව’ බව නිසැකව දත් ජාතික ජනබලවේගය, තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 202 වැනි පිටුව වෙන්කොට ඇත්තේ දශක කිහිපයක් රට පාලනය කල චෞර තන්ත්‍රයක් තම සටපකට නීතිමය විශාරදත්වයෙන්  පෝෂණය කල අපාය සහය මිතුරන් අහිනක් කවදත් රජකළ එකී දෙපාර්තමේන්තුව ජනසතු කිරීමේ කාර්යාවලිය පනගැන්වීමටය.

අවාසනාවට එකී විෂය පථය හිමි අධිකරණ ඇමතිවරයා නිසල වූ සාගර දිය මත නැවක් පැදවිය හැකි කප්පිත්තෙක් මිස රළු හා කුණාටු සහිත මුහුදු දිය මත්තේ තම දිශානතිය වෙත හැල්මේ යා හැකි බුදුදහමේ දැක්වෙන පරක්කම ධාතු හෙවත් යමක නිමාවක් දැක්ක හැකි අදියුරුවරයෙක් නොවේ. එබැවින් පොහොසත් රටක් -ලස්සන ජිවිතයක්’නම්වූ පුස්තකයේ 202 වැනි පිටුවේ සඳහන්  ”රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාලය’පිහිටුවීමේ වැඩි බරක් කරට ගැනීමට සිදුවනු ඇත්තේ නව ආණ්ඩුවට අසීමිත බලයක් දුන් ජනීජනයාටමය.

එනමුත් ඊට අදාළ පෙරබිම සකස් කිරීමේ කමිටුව නිසැකවම මෙරටේ අසමත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අඩපන කල බළධාරීන්ගෙන් පමණක් සුසැදි එකක් වීම හාස්‍යය ම ජනිත කරන ඛේදජනක තෝරාගැනීමක් බව ද කිව යුතුමය.

ශ්‍රී ලංකාව වැනි නීතියේ ආධිපත්‍යය නිරතුරු අභියෝගයට ලක්වන රටකට නීතිපතිවරයා යනු අසමාන චරිතයකි. වසර 1988දී නීතිපති දෙපාර්තමේන්තුව තම සියවැනි වර්ෂ පූර්ණය සමරන ලද අතර එහිදී එවකට සොලිසිටර් ජෙනරාල්වරයා වූ කේ. එම්. එම්. බී. කුලතුංග විග්‍රහ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ  නීතිපතිවරයා එංගලන්තයේ අද්වකාත් සාමිවරයාට (Lord Advocate of Scotland) වඩා බලතල හිමිව තිබෙන වගයි. කරුණු කෙසේ වෙතත් දිගුකලක් තිස්සේ දේශපාලන හස්තයට ගොදුරු වූ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා කෙටි කලෙකදී හැර අනෙක් සෑම කල්හිම රජයේ පරම නීති උපදේශක කාර්යයෙන් පිටමංව දේශපාලන වර්ණයක් හා හැඩයක් සහිතව ක්‍රියාකොට ඇති බව නොරහසකි.

නීතිඥ විජේදාස ලියනාරච්චි ඝාතනය හා සබැඳිව එවකට නීතිපති සුනිල් ද සිල්වා හට වේලාසන තම ධූරය අතහරින්නට සිදුවූයේත්, කුප්‍රකට සරත් නන්ද සිල්වා හට මාධ්‍යය හමුවට පැමිණ කරුණු පැහැදිලි කරන්නට සිදු වූයේත්, ඒ හැමටම වඩා සංජය රාජරත්නම් මෙරටේ සිදුකල අසහාය ජන්ද මංකොල්ලයක් බඳු පළාත් පාලන ජන්ද විමසීම විධායකය බාධා කොට නතර කිරීමෙන් පසු මැතිවරණ කොමිසමට අවැසි නීති සහය නොදුන්නේත් තම කීර්තිමත් උරුමය අමතක කරමිනි. ඒ අතර කේ.සී. කමලසබේසන් බඳු නීතිපති ධූරයට ගෞරවයක් එක්කල නීතිපතිවරුන්ද අප අතර නොසිටියා නොවේ.

ඒ අතර  මහබැංකු මංකොල්ලය සමයේ අධිකරණයේ දැඩි උනන්දුවකින් කටයුතු කරන්නා සේ දුටු පසුකාලීනව නීතිපතිවරයා බවට පත්වූ  දප්පුල ලිවේරා එකී නඩුකරය තුළ  නීති වෘත්තිකයෙකුගේ සීමාවෙන් ඔබ්බට ගිය නිසාදෝ බැඳුම්කර කොමිසම හෙබවූ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මෙන්ම සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුතුමන්ලා වරෙක ඔහුගේ චර්යාව හැඳින්වීමට භාවිත වදන වූයේ ” deplorable” යන්නයි.

මේ  ජයවර්ධන  විනිසුරුතුමන්ගේ වදන්”

”ඔබගේ චර්යාව ජේෂ්ඨයෙකුගේ චර්යාව හා නොගැලපේ. මා ඔබගේ චර්යාව පිලිබඳ මෙම චේම්බරය තුළ මා මගේ වසර 30 ක වෘත්තීය දිවිය තුළ එවැනි හැසිරීමක් දැක නැහැ. එය ඛේදජනකයි. (Deplorable යන වදනට අර්ථ සමුදායක් ඇති බව කරුණාවෙන් සලකන්න).  චිත්‍රසිරි විනිසුරුතුමන් ද දැක්වූයේ එතුමන්ගේ වසර 37 ක විනිසුරු දිවිය තුළම එවන් හැසිරීමක් නොදුටු බවයි.

ඒ කෙසේවෙතත් අදවනවිට ඉස්මත්තට පැමිණ ඇත්තේ පාරින්ද රණසිංහ (කණිෂ්ඨ) නීතිපතිතුමන්ට එලෙස සැකකරුවන් නිදහස් කිරීම සිදුකල හැකි වුවත් එය කෙතරම් නව වරමක් ලත් නව රජයක් මහජනයා වෙත දුන් සාධාරණ පොරොන්දුව අගතියට ලක්කරන්නේ ද යන්න විමසීම දේශපාලන පක්‍ෂපාතිත්වයක් නොවේ. ජනතාව සතු පරමාධිපත්‍යය බලයේ පරිමාව විමසීමකි . වික්ටර් අයිවන් එ. සරත් එන්. සිල්වා (නීතිපතිවරයා) අතර පැවති නඩු විභාගයේදී මාර්ක් ප්‍රනාන්දු විනිසුරු තුමන් නීතිපතිවරයා සතු බලය අභිමතානුසාරී බලයක් බව පිළිගත්තද එය කිසිසේත් නිරපේක්‍ෂ හෝ නිර්බාධිත නොවන බව ද අවධාරණය කළේය. මේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා

”විවිධ කරුණු සම්බන්ධයෙන් තීරණය කල හැකි ව්‍යවස්ථාපිත අභිමතානුසාරි බලයක් නීතිපතිවරයා සතුවන බව පැහැදිළිය. දණ්ඩනය ලබාදිය යුතුද,නැද්ද යන්න පිළිබඳව ද , ලගු නඩු විභාගයන් ලබාදිය යුතුද නැද්ද පිළිබඳව ද , ඔහු විසින් තීරණය කල යුතුවේ. එවැනි තත්වයකදී සංක්ෂේපණය නොවූ නඩු පටිපාටින් නියම කල යුතුද , එසේත් නැත්නම් අධි චෝදනා ගොනු කල යුතුද සම්බන්ධයෙන් තීරණය ගැනීමට නීතිපතිවරයාට සිදුවේ. ඔහු විසින් ඉහත සඳහන් කල ආකාරයේ තීරණ ගැනීමේදී , අභිමතය යොදා ගැනීම ව්‍යවස්ථාපිත හෝ අධිකරණමය ක්‍රියාවක් නොවන අතර , එය ඇත්ත වශයෙන්ම දැක්විය හැක්කේ පරිපාලනයම හෝ විධායක ක්‍රියාවක් ලෙසය”.

එමෙන්ම මැතිවරණ විෂයෙහි සංජය රාජරත්න, නීතිපතිවරයා ලෙස දැක්වූ නිශේධනාත්මක සහ ක්‍රම විරෝධී පිළිවෙත කෙදිනක හෝ කවර හෝ පර්යේෂකයෙක් විසින් ලියා තැබිය යුතුව ඇත. වසර 2023 හි මුල් භාගයේදී පළාත් පාලන ජන්ද විමසීම කල් දමන්නට කස කැවූ හිටපු අනුප්‍රාප්තික ජනපතිවරයාගේ උපදෙස් පරිදි ,මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ අනෙක් කොමසාරිස්වරුන් තිදෙනෙක් අභියස ඔහු හැසිර ඇත්තේ මැතිවරණ විෂය භාර එකම බළධරයා ලෙසින් වන අතර දැනට එහි නොමැති හිටපු කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසිය හැකිය. කොමිසම නියෝජනය කල එක් කොමසාරිස්වරයෙක් වූ (හිටපු මැතිවරණ කොමිෂනර් ජෙනරාල්වරයෙක්ද විය). එම්. එම්. මොහමඩ් මැතිවරණ කොමිෂන් සභාවේ අසමත්කම දක්වමින් නිකුත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැක කඳුළු සැලූ බව හුදී ජන පහන් ජන සංවේගය පිණිස ලියා තැබිය යුතුය. ඔහු කිසිදිනෙක මැතිවරණක් කල් දැමීම සඳහා තම දායකත්වය දැක්වූවෙක් නොවේ. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවට එලෙස කටයුතු කරන්නට බලකෙරුණු එක් බලවත් පාර්ශවයක් වූයේ පෙරකී නීතිපතිවරයාය. සිහිනෙන් පවා මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය සුරකින්නට තම නිල බලය උපයෝගී කරගත් එවැනි අවංක නිළධරයෙක් නියෝජනය කරන ස්වාධීන කොමිෂන් සභාවක් පවා ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමේ පුදුම හැකියාවක් මෙරටේ නීතිපතිවරයා සතුබව මෙරටේ ජනතාව දැනගත යුතුව ඇත.

මේ අල්ල පනල්ලේ තවත් කදිම සිදුවීමක් සිදු විය. එනම් නීතිඥ සංගමය කඩිමුඩියේ පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමයි. එය කුමක්දැයි නිවැරදිව කියන්නේ නම් කකුළුවාගේ කල් ක්‍රියාව හා සමෝසමය. එම නිවේදනය නිකුත් කොට දින තුනක් යන්නට පෙර ඊට පාදක වූ නියෝගය නීතිපතිවරයා විසින් නැවත සමාලෝචනය කරන බව දැන්වීය. එබැවින් නීතිඥ සංගමය ගලේ පැහැරූ බළලුන්ගේ ස්වභාවය ගති. ඊට වැඩිමනත් ලෙස දැක්විය යුත්තේ අවස්ථා කිහිපයකදී හැර මෙරටේ නීතිඥ සංගමයට පොදුජනයාගේ හද ගැහෙන රාවය හඳුනා ගැනීමට නොහැකි වූ බවයි.

සැබවින්ම ඔවුන් පළමුව කළයුතුව තිබුනේ එහි හිටපු සභාපති කෞශල්‍ය නවරත්න ඇතුළු විධායක සභිකයන් කිහිපදෙනෙක් වටා ගෙතුණු  විදෙස් අරමුදල්  වෙත (ජපාන -ජයිකා)  ප්‍රවේශ වීමේදී හටගත් අර්බුදය කුමක්දැයි පැහැදිලි කිරීමයි. පසුගිය ආණ්ඩු කිහිපයක් යටතේ නීතිපතිවරුන් කිහිපදෙනෙක් සිදුකල දේශපාලන පක්‍ෂපාති ක්‍රියාකාරකම් කෙරෙහි නොබැලූ දෑසින් හා නොඇසුණු කණින් සිටි මොවුන් ජාතික ජනබලවේගයට උපදෙස් දීමට හා අවවාද දීමට ඉදිරිපත්ව ඇත. සැබවින්ම ජාතික ජනබලවේගයට යම් නොසිඳුණු පෞර්ෂත්වයක් තිබේනම් කල යුතුව ඇත්තේ නීතිඥ සංගමයට තමන්ගේ වැඩක් බලා ගන්නා ලෙස කරුණාවෙන් සැල කිරීමයි.

මෙරටේ  නීති පද්ධතියේ විකාශයට හේතුවූ රෝම ලන්දේසි නීතිය හරි අසිරිමත් එකකි. එකී අසිරිමත් නීතිය, වරෙක කළු කෝට්කාරයා දෙවියෙක් කරන්නේය. තවත් වරෙක එලොවත් -පරලොවත් නැති මුට්ට කාසිකාරයෙක් කරන්නේය.

මීට දශක 8 කට එහා ඉතාලියේ පිහිටි සිසිලිය නම් නගරයකට වැටුණු දෙවැනි ලෝක යුද්ධයේ සෙවනැල්ල පාදක කර ගනිමින් ගිසෙප්පේ ටෝර්නාටෝරේ ලියන ලද මනරම් කතාවක් ඔහුම තිරයට නැගීය. ගැටවරයන්ගේ නැගී එන ප්‍රේමාග්නිය දල්වාලමින් යොවුන් හදවත් එක රැයින් පැහැර ගත් සිහින කුමරිය වූ මොනිකා බෙලුච්චි ලෝකයට රැගෙන ගිය මාහැගි සලරුව වුයේ මෙයයි. මලිනා යැයි නම් ලද මෙකී සලරුවේ රැඟූ ඇගේ භාව භාව ලීලා අභියස වසග වූ කුසල්හාමිලා අතර සිටි ප්‍රකට එකෙක් වූයේ නාකි හම්පඩ නීතිඥයෙකි.  ඇගේ නාරි මාංශය සූරා ගන්නට පෙරුම් පිරූ ඔහු අවසන තම සිතැගි ඉටු කර ගත්තේය. ඒ ඇයගේ දුර්භාග්‍ය සමයේ ඇය වෙනුවෙන් පෙනී සිටි නඩුකරයේ ගාස්තුවට හිලවු වන්නටය. මලිනා හප කළ ජාගර සිතැති කබාකාරයෝ, ලොව හැමදාමත් -හැමතැනමත් සිටින්නේය. නැත්තේ තවු තිසා දෙව්ලොව පමණි. අතලොස්සක් වූ එවන් නිරුවත් වානරයන් අතර යුක්තියේ කන්‍යාවිය හා ප්‍රේම පාශයෙන් බැඳුනු නිවුණු මිනිසුන්ද නැත්තේ නොවේ. අප කොදෙව්වේ ඉපිද, වියත් සභා මැද බැබළුණු ආර්.කේ. ඩබ්. ගුණසේකරයෝ ද එවැන්නෙකි.

අපගේ නීතිඥ සංගමය නිකුත් කල පුවත්පත් නිවේදනය කියැවීමට පෙර ඉහත කී සලරුව බලන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

එබැවින් ලංකාවේ නීතිපති එලෙස වඩාත් සංවේදී නඩුකරයක සැකකරුවන් නිදහස් කිරීමට යෝජනා කරමින් යැවූ නියෝගය හරි යැයි කියමින් ජාතික ජනබලවේග විරෝධය මත්තේ පමණක් දිවිගෙවන ඇත්තන් වෙත පැවසිය යුත්තේ ඔහුගේ එම ක්‍රියාව පරිපාලනමය සහ විධායක කාර්යයක් පමණක් බවත්, ඊට තුඩුදුන් පසුබිම අගති විරහිතව පහදාලීමට නීතිපතිවරයා බැඳී සිටින බවත්ය. එලෙස නොබැඳෙන බවට වන නෛතික රාමුව ඉහළට ඔසොවා පෙන්වන අයවලුන් වෙත ජාතික ජනබලවේගය පිළිතුරු දිය යුත්තේ නලින්ද ජයතිස්ස ගේ අපරිණත මාත්‍රාවෙන් හෝ හර්ෂණ නානායක්කාරගේ අලස භාවිතාවෙන් නොවේ. ඉහත කී 202 පිටුව ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයක් බවට පත් කිරීමෙනි. එදිනට අපාය සහායක නීති බළධාරීන් ජනීජනයාගේ සිත්ගත් මිතභානී බළධරයන් පිරිසක් බවට පත්වනු ඇත්තේය.

 

මංජුල ගජනායක

Leave A Comment