
ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!
- CNL Reporter
- February 27, 2025
- දේශපාලන
- karu-jayasuriya, nmsj
- 0 Comments
-
ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..!
-
විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා
-
එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්රජාතන්ත්රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා
හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
රටට ඔබින, ජනතාවට එකමුතු විය හැකි ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව අද වන විට රටේ බහුතර ජනතාවගේ අවධානය යොමු වී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි. එතුමා මේ බව පෙන්වා දුන්නේ “ජාතික අපේක්ෂාවන්ට අනුගතව, ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කරන ආණ්ඩුක්‍රමයක්” යන මැයෙන් 2025.02.25 දින කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේ දී පැවති විශේෂ විද්වත් සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වන ලද කරු ජයසූරිය මහතා මෙලෙසද ප්‍රකාශ කරන ලදි.
රටට ඔබින, ජනතාවට එකමුතු විය හැකි ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන රටේ සැලකිය යුතු ජනමතයක් ඇතිවෙමින් පවතිනවා. ජනාධිපති මැතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ කරුණු ගැන රටට පොරොන්දු ලබා දුන් බව ඔබ සියලු දෙනාටම මතක ඇති. මෙහිදී නව ව්‍යවස්ථාවක් සක්ස කිරීම සම්බන්ධයෙන් වර්තමාන රජයට මෙන්ම සියලු දේශපාලන පක්ෂවලට යම් ජාතික වගකීමක් පැවරෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවටත් මේ පොරොන්දුව ලබාදී තිබෙනවා. සිවිල් සංවිධානයක් වශයෙන් අපගේත් එම බලාපොරොත්තු හා විශ්වාසය තිබෙනවා. එමෙන්ම මෙවැනි වැදගත් වෙනස් කිරීම් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්නට බැහැ. ඒ බව අපි පිළිගන්නවා. ඒ සඳහා යම්කිසි ප්‍රායෝගික කාල වේලාවක් අවශ්‍යයි. එහෙත්, ස්ථිර කාලසීමාවක් සඳහන් කිරීම රජයේ පාර්ශ්වයෙන් සිදුවිය යුතුයි. ජනතාව අඳුරේ තැබීම අසාධාරණයි.
අප මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළේ අප වෙතින් ඉටු විය යුතු මෙම ජාතික යුතුකම වෙනුවෙන් පෙනී සිටීමට. 2012 වර්ෂයේ සිටම අපි මෙම රට තුළ යුක්තිය සාධාරණය රජයන සමාජයක් ඇති කිරීම සඳහා ඉදිරියෙන් සිටියා. එදා මෙම ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ අපවත් වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින්. 2015 දී ශ්‍රී සෝභිත නාහිමියන්ගේ මෙහෙයවීමෙන් අප ව්‍යාපාරයත් ජනතා විමුක්ති පෙරමුණත්, සමහර අවස්ථාවල එකම වේදිකාවක සිටියා. උන්වහන්සේ නොහිටින්නට එදා ඇති වූ රාජ්‍ය පාලනයේ වෙනස සිදුවන්නේ නැහැ. ඒ අවස්ථාවේ උන්වහන්සේට වස දීමට, මෝටර් රථ ගැටුමකින් උන්වහන්සේ අපවත් කිරීමට උත්සාහ කිරීම මෙන්ම උන්වහන්සේගේ චරිතය විශාල ලෙස ඝාතනය කිරීමටත් ලක් වුණා. රටේ සමහර පුද්ගලයින්ට මෙම අඳුරු කාල සීමාව අමතක වෙලා.
එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්රජාතන්ත්රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා, ඉදිරියටත් ක්‍රියා කරනවා. අපි බෝඩ් උස්සාගෙන දියව් දියව් කියලා කෑගහලා රට අවුල් කරන සමාජ ව්‍යාපාරයක් නෙවෙයි. ඉතා විනීතව කටයුතු කරමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. සිවිල් සමාජයේ හා පුරවැසියාගේ ශක්තිය නිශ්ශබ්දව පසුගිය ජනාධිපතිවරණයේදිත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව ප්‍රකාශ කළා. මෙය බලයේ සිටින අයටත් නැති අයටත් හොඳ ආදර්ශයක්. හොඳන් මතක තබාගත යුතු කරුණක්. අද මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට හෝ විපක්ෂය ප්‍රවර්ධනය කරන්නට නොවෙයි. ජනතාවට ද අයිතියක් තිබෙනවා මෙම යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව දිනසීමා ඇතිව දැන ගැනීමට. ජනතාව වෙනුවෙන් අප ඒ පිළිබඳව වර්තමාන රජයේත්, විපක්ෂ කණ්ඩායම් වලත් අවධානය යොමු කරනවා.
නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට පුරා සංචාරය කරමින් නීතිඥ ලාල් විජේනායක මැතිතුමාගේ නායකත්වයෙන් වින්ස්ටන්ට් පතිරාජ මහතා ඇතුළු විද්වත් කණ්ඩායමක් මහජන අදහස් ලබාගැනීම 08 වන පාර්ලිමේන්තු සැසිවාරයේ දී සිදුකරනු ලැබුවා. එය ඉතා වටිනා වාර්තාවක්. අප දන්නා පරිදි ලාල් විජේනායක මැතිතුමා වරත්මානයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් එතුමාට මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව අපි දන්නවා. පසුගිය සමයේ එතුමා සෑම පාර්ශවයකම විශ්වාසය දිනාගෙන තිබෙනවා.
විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බවත්, ජන මත විචාරණයක් පවත්වන බවටත් තහවුරු කළා. එය හොඳ ප්රවර්ධනයක්. රජය මෙහි දී ජනතා අදහස් ලබාගත යුතුයි. උතුරු නැගෙනහිර ජනතාව මෙන්ම තම මව්බිමට ආදරය කරන විදේශ ඩයස් පෝරාවද මේ වෙනුවෙන් බලාපොරොත්තු ඇති කරගෙන සිටිනවා. හිමාලයා සම්මුතිය හා ග්ලෝබල් ටැමිල් ෆෝරම් වැනි බලවත් සංවිධාන සුබවාදී ආකල්පයෙන් කතා කරනවා. මෙම පාර්ශව අප ආයතනය සමඟත් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
අද මෙම සම්මන්ත්‍රණයෙන් එළිදැක්වෙන අදහස සහ යෝජනා රජයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී චාරිත්‍රයක් වශයෙන් අප සම්මන්ත්‍රණවලට පවතින රජයේ අධිකරණ මාත්යතුමාට ආරාධනය කරනවා. ඒ සාකච්ඡා දෙපාර්ශවයටම වැදගත්. අද මෙම සම්මන්ත්රණයටත්, වර්තමාන අධිකරණ අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමාටත් අපි ආරාධනා කර තිබෙනවා. එතුමා සමග ඉතාමත්ම සුහදව හා සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
පසුගිය සතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිවේදී රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවට වාර්තා වුණා. එය ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. අපි එම කමිටුව හමුවීමට බලාපොරොත්තු වෙනවා. ශීලාචාර සමාජයකට ඔබින නීති සම්පාදනය මෙම වැදගත් කමිටුවට පැවරෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් පත් කළ “ඩෙප්” ජනාධිපති කොමිසමේ වාර්තාව එතුමාට භාර දී ඇතත්, තවමත් එය ප්‍රකාශයට පත් කර නැහැ. ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ වලට පෙර මෙම වාර්තාව ප්‍රකාශ කරන ලෙස අපි කිහිප විටක්ම ඉල්ලා සිටියා. ඉතා වැදගත් අදහස් හා යෝජනා මෙහි ඇතුළත් බවට වාර්තා වී තිබෙනවා. මෙය ධවල පත්‍රිකාවක් (White Paper) වශයෙන් නිකුත් කිරීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.
අද ඔබ සැමගේ පැමිණීම අපට විශාල ශක්තියක් හා ධෛර්යයක් බව සඳහන් කළ යුතුයි. අපි මෙම සමන්ත්රණයෙන් බලාපොරොත්තු වන්නේ ඒ ගැන රජය වහ ක්‍රියාත්මක වීම හා යෝජිත දින සීමා ජනතාවට ප්‍රකාශ කිරීමයි එය ඉතා ඉක්මනින් සිදුවේවායි අප ප්‍රාර්ථනා කරනවා. එම ක්‍රියාදාමය තුළින් රජයටත්, ජනාධිපතිතුමාටත් ජනතාවගේ ගෞරවය උපයාගන්න පුළුවන්.යනුවෙන් පැවසීය
එසේම නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර, ආචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය නිහාල් ජයවික්‍රම, බැරිස්ටර් වේලුපිල්ලේ කුහනේන්ද්‍රන් මහතා, නීතීඥ ජාවේඩ් යූසුෆ් මහතා, Zoom තාක්ෂණය ඔස්සේ ජයම්පති වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් සභාව ඇමතූ අතර මෙම අවස්ථාවට පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත හිමිපාණන් වහන්සේ, සිවා ශ්‍රී දර්ශක කුරුක්කල් තුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් , තලතා අතුකෝරළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල් පීරිස් , ලසන්ත අලගියවන්න, එරාන් වික්රමර,ත්න දුමින්ද දිසානායක ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
| අචින්ත මධුර – lankanewsweek.com