පෙරහරේ දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්තනීය රටක් නිර්මාණයට අත්‍යවශ්‍යයි

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමේ සමාරම්භක අවස්ථාවට පෙරේදා (01) එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද පැවැසූවාය.

“මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දවසේ ඉඳලාම ලෝකෙ පුරාවටම ඒ ඒ ජන ප්‍රජාව ඔවුනොවුන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් හා අනන්‍යතා ගොඩනැංවූ බව මානව ඉතිහාසය නිරීක්ෂණය කරනකොට අපට පැහැදිලි වෙනවා.

පෙරහර කියන්නේ ආගමික වටිනාකම් වගේම සෞන්දර්යාත්මක වටිනාකම්වල එකතුවකට. පෙරහර පුරාවටම තමන්ගේකම, අපේකම කියන හැඟීමක් හැම දෙනා තුළම තියෙනවා. ඒ වගේම පෙරහර කියන්නේ තනි තනි මිනිසෙක් වෙනුවට සාමූහික මිනිස් ක්‍රියාකාරකම් කුළුගැන්වෙන සංස්කෘතික අවස්ථාවක්.

රටක් හැටියටත් අද අපට ඕනෑවෙන්නේ තනි තනි හුදෙකලා මිනිස් ක්‍රියාකාරකම් වෙනුවට සමූහික මිනිස් ක්‍රියාකාරකම් කියලයි මට හිතෙන්නේ.

දුප්පත්කමේ පතුලටම වට්ටවලා තියෙන අපි වගේ රටකට ගොඩ එන්න මේ සාමූහිකත්වය ඉතා වැදගත් කියලා අපි හිතනවා.

අද අපේ අභියෝගය වෙලා තියෙන්නේ ආගාධයට ඇදලා දාලා තියෙන රටක් පුනරුදයක් වෙත ගෙන යෑමයි. ඒ පුනරුද රටට ආර්ථික පුනරුදය වගේම සංස්කෘතික පුනරුදයත් ඉතා වැදගත් කියලා අපි විශ්වාස කරනවා.

අපි ගොඩනඟන්නට උත්සාහ කරන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සහිත රටේ අපේ අනාගත ප්‍රාර්ථනාව තමයි සියලු ආගමික, සංස්කෘතික, කලාත්මක හැකියාවන් එකට එළිදැක්විය හැකි එක බිමක, එක තැනක සියලු සංස්කෘතීන් සහ සංස්කෘතිකාංග එළි දක්වන විචිත්‍රවත් මොහොතක්.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ජාතික හා ආගමික උත්සව එකට දකින රටක්. ඒ රට ගොඩනඟන්නට සියලු දෙනාටම ආරාධනා කරනවා.

හොරණ රාජමහා විහාරාධිකාරි මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

 

 

 

 

 

 

 

 

 

 

 

Leave A Comment