මීගමුව කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි

මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුවට සිදු වෙමින් පවතින දූෂණය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම අදාල අංශ වෙත කරුණු දැක්වුවත් එම දූෂණය නැවැත්වීමට කිසිවෙක් කිසිවක් කරන බවක් නම් පෙනෙන්නෙ නැත.

මාළු, කකුළුවන් සහ ඉස්සන් ගෙන්  පෝෂිත වූ මීගමු කලපුව අප හැඳින්වූයේ දියමන්ති ආකරයක් ලෙසය.

එහෙත් වන විට කලපු ධීවරයෙකුට ඉස්සන් ග්‍රෑම් සීයක් අල්ලා ගන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත.

මේ නිසා මීගමු කලපුවේ රැකියාව කරමින් ජීවත්වූ දහස් සංඛ්‍යාත ධීවර පවුල් ප්‍රමාණයක් අතිශයින්ම අසරණ තත්ත්වයට පත් වී ඇත.

නිදහස් වෙළඳ කලාප සංකල්පය සමඟ 1978 පසු  ආරම්භ කරන ලද  කටුනායක ආශ්‍රිත මහා පරිමාණ ඇගලුම්  කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය සියල්ල බැහැර කරන ලද්දේ මීගමුව කලපුවටය.   කලපුව ආශ්‍රිතව ඉදිකර ඇති හෝටල් සහ විවිධ කර්මාන්තශාලාවල සහ මීගමු නගරයේ ජීවත් වෙන ජනතාවගේ කුණු කසල ද අවසානයේ ගලා එන්නේ මීගමු කලපුවටය.  එපමණක් නොව කලපුවට ගිනිකොන දිගින් සහ දකුණු දිගින් ගලා එන දඩුගම් ඔය සහ හැමිල්ටන් ඇලේ ජල ධාරාව රැගෙන එන්නේ වෙන කිසිවක් නොව කුණු කසලය. අවාසනාවකට මිගමුව කලපුවට යාබදව ජිවත්වන ජනතාවද කිසිම වගකීමකින් තොරව තමන්ගේ කුණුකසල විසිකරන්නේද මේ කලපුවටමය.

සශ්‍රීක ජලය සහ මඩ තට්ටුවකින් සෑදුණු මීගමු කලපුවේ පතුල මේ වන විට අපද්‍රව්‍ය වලින් පිරී ගොස් ඇති නිසා මසුන්, කකුළුවන් සහ ඉස්සන්ට කලපුවේ රැදී සිටීමට ඇති හැකියාව සහ මුලින්ම නැතිවී ගොස් ඇත.

මේ සියල්ලටම හේතුව වී ඇත්තේ අක්‍රමවත් අපද්‍රව්‍ය සහ කසළ කළමනාකරණයයි.

නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන විට මත්සයින්, කකුළුවන් සහ ඉස්නිසන් නිෂ්පාදනය අතිශයින්ම වැදගත් වන්නේ ඒවා අසීමිත ලෙස ප්‍රෝටීන් බහුල ආහාර වන නිසාය.

මීගමුව කලපුව සුරැකීමේ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන ගණනාවක් කලපුවට කසල බැහැර කිරීම වහා නතර කරන ලෙස කරන ලද ඉල්ලීම් තවමත් බිහිරි අලින්ට වීනා වාදනය කිරීමක් පමණක් වී ඇත.

ජාතික ජන බලවේගයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අති විශේෂ අවධානයක් යොමු විය යුතු මීගමු කලපුව  ක්ලීන්  කරන්නේ කවදාද? එසේම නිසි අපද්‍රව්‍ය සහ කසළ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයට දැයි ආරංචි රාළ විමසිල්ලෙන් යුතුව බලා සිටියි.

ආරංචි රාළ

Leave A Comment