
සීඅයිඩීයෙන් අල්ලන්න සොයන හිටපු ඇමැති රණවීර ආගිය අතක් නෑ
- CNL Reporter
- March 10, 2025
- දේශපාලන
- ඇමැති රණවීර
- 0 Comments
මර්වින් කොටුවුණු කිරිබත්ගොඩ ඉඩම් මගඩිය:
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ ඇතුළු තවත් ස්ථාන රැසක් පරීක්ෂා කළද ඊයේ (09දා) වනතුරුත් ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.
හිටපු ඇමැති මර්වින් සිල්වා සමග එක්වී කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි ගණනාවකට විකුණූ බවට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
මෙහිදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින සෙසු සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ද වේ. මෙම හොර ඔප්පු සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටිති.
හේමන්ත රන්දුණු