
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන 2267ක් CCTVවලින් හඳුනා ගනියි
- CNL Reporter
- March 12, 2025
- පුවත්
- ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන 2267ක් CCTVවලින් හඳුනා ගනියි
- 0 Comments
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් ව්‍යාජ අංක තහඩු යොදා මහ මග ධාවනය කෙරන සුඛෝපභෝගී වාහන 2267ක් හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම ආරම්භකරනු ලබන්නේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගෙවුණු කාලය තුළ රථවාහන නීති උල්ලංඝණය කළ වාහන 12,246ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව තිබේ.
කැමරාවෙන් හදුනාගන්නා වාහනයේ අංකයන්ට අනුව එහි ලියාපදිංචි හිමිකරු හදුනාගෙන ඒ ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරනු ඇත. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඝෘජුවම මෙම අංශයේ නිලධාරීන්ට සම්බන්ධවීමේ අවස්ථාවද ඒ සඳහා ලබාදී තිබේ.
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවලට හසුවූ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වාහන 12,246 අතර වාහන 2267ක් හොර වාහන ලෙස හදුනාගෙන ඇත්තේ එහි ලියාපදිංචි හිමිකරු සොයා යාමෙනි. මෙම වාහන 2267න් වැඩි වාහන ප්‍රමාණයක අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියේ මෙතෙක් ලියාපදිංචිකර නොමැති ඒවා බවත් ඇතැම් වාහන ලියාපදිංචි හිමිකරුවන් සොයා ගොස් පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයන්ට එවැනි වාහනයක් තබා යතුරුපැදියක්වත් ගැනීමට වත්කමක් නැති පුද්ගලයින් බවත් පෙනී ගොස් තිබේ.
මෙම වාහන 2267ම හොර වාහන බවට ඒ අනුව විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.
මෙම වාහන අංක දිවයිනපුරා පොලිස් ස්ථානවලට යොමුකරමින් ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක් ඉදිරියේදී දියත් කරන බව ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ