දුවේ පුතේ විභාගයට බය වෙන්න එපා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

කලින් දවසේ පැය 5ක්වත් නිදාගන්න
අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන මාර්තු 17 වැනිදාට පෙර දිනයේ මෙතෙක් කල් පාඩම් කරපු විෂයන් නැවත පුනරීක්ෂණය කිරීම ඉතා වැදගත් බවත්, විභාගයට කිසි ලෙසකින් බිය නොවීම ඉතා වැදගත් බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා “දිවයින”ට ඊයේ (14දා) පැවසීය.

තමන්ට සමහර පාඩම් බලාගැනීමට නොහැකි වූ බව සිතමින් කම්පා නොවන ලෙසද, ඔහු විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

තවදුරටත් කතා කළ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේද කීය.

“විභාගයට පෙරදින රාත්‍රියේ වේලාසනින් අඩුම තරමින් පැය 5ක් වත් නිදාගැනීම වැදගත්. එහෙම නිදාගත්තම විභාගයට යන දරුවාගේ මතක ශක්තිය වැඩිවෙනවා. විභාගයට පෙරදින ඔබ විභාගයට රැගෙන යෑමට නියමිත විභාග ප්‍රවේශපත්‍ර, හැඳුනුම්පත, පෑන්, පැන්සල් ඇතුළු ලියකියවිලි, තමන්ගේ පාසල් නිල ඇඳුම් සූදානම් කරගන්න. ඒක තමන්ගේ මානසික පීඩනය අඩුකරන්න වැදගත් වෙනවා.

“ඒ වගේම ඔබ විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන්න. අඩුම වශයෙන් පැය භාගයකට කලින්වත් යන්න. ඒක ඔබට විභාගය මානසික සුවයෙන් ලියන්න බලපානවා.

“ප්‍රශ්න පත්‍රය අතට ගන්නකොට සැහැල්ලු මනසකින් ලබාගන්න. බියක් ඇති කරගන්න එපා. ඔබ ප්‍රශ්න කොළය කියවන්න. එයින් තමන්ට පහසු ප්‍රශ්නවලට මුලින් පිළිතුරු ලියන්න.”

“ප්‍රශ්න පත්‍රය ලියලා ඉවර වුණු ගමන් යාලුවොත් එක්ක ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරන්න එපා. දෙමාපියන් එක්කවත් සාකච්ඡා කරන්න එපා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Leave A Comment