
යහපත් සෞඛ්‍ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි – ලසන්ත ද සිල්වා
- Sujeewa Senerath
- March 18, 2025
- දේශපාලන, පුවත්
- midwifesrilanka
- 0 Comments
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී “සෞඛ්‍ය සම්පන්න මනසකින් රැකියාවට ” යන තේමාව මුල්කරගනිමින් නායකත්ව පුහුණු සැසියක් සමග උත්සවයක් සංවිධානය කර තිබුණි.
එම පුහුණු වැඩමුළුව ආරම්භ කරමින් “වෘත්තීය කුලවාදය පරාද කරමින් පවුල් සෞඛ්‍ය සේවාව යහපත් මනසකින් සිදු කිරීමට සැලසුම් විය යුතු ආකාරය හා සංවිධාන ගත වීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී සියලු දෙනාගේ ශක්තිය වන්නේ වෘත්තීය සමිති සන්ධානගත වීම මත පමණක් වීම හා තමන්ට ලැබී ඇති සියලු වරප්‍රසාද ලැබී ඇත්තේද තම සගයන් සමග එක්ව කරන ලද සටන්වලින් බවත් පෙන්වා දුන් අතර, එය ඉදිරියටත් රැකගැනීමට හා තම අයිතීන් වෙනුවෙන් සටන් කල යුතු බවත්, සේවයේ සිදුවන අපහසුතාවයන් හා හිරිහැරවලට මුහුණදීමට හැකිවන්නේ වෘත්තීය සමිති සමග එක්ව කටයුතු කිරීමෙන් පමණක් බවත්, විවිධාකාර ක්‍රියාකරකම් මගින් එක්සත්ව කටයුතු කිරීමේ වටිනාකම් පිළිබඳවත් එහිදී අවධාරණය කරන ලදි.
මෙම පුහුණු සැසිය සඳහා එක්සත්ව කටයුතු කිරීමේ වටිනාකම් පිළිබඳව අවන්ති ලිවේරා මහත්මිය හා ප්‍රසාදි වික්‍රමරත්න මෙනවිය විසින් තම සාමාජිකයින්ව ක්‍රියාකරකම් සහිතව සාකච්ඡාවක නිරත විය.
පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ඒ. ඒ. එස් ස්වර්ණලතා මහත්මිය විසින් සිදු කරන ලදුව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මැතිනිය විසින් නායකත්වය, ඒකරාශී වීම, ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීම අන්‍යෝන්‍ය සුහදතාවය යන කරුණු ඇතුළත් දීර්ඝ දේශනයක් සිදු කරන ලදී.
වරකපොළ, පොලිස් ස්ථානයේ අපයෝජන නිවාරණ කාර්යාංශ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරි ජයසුන්දර මහත්මිය කතා කරමින් කාන්තාවන්ගේ ආරක්ෂාව සදහා කොතෙකුත් නීති සම්පාදනය වී තිබුණත් ඒ පිලිබදව නොදැනීම තුළ කාන්තාවන් දැඩි අපහසුතාවයට පත්වන බවත් ඕනෑම අවස්ථාවක කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, අදාල නීති පිලිබදව දිගු විස්තරයක් සිදු කරමින් මෙම කරුණු පිලිබදව කාන්තාවන් දැනුවත් කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගේ නොමද සහාය ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය.
කෑගල්ල දිස්ත්‍රික්කය සදහා Uni Global (Care) සංවිධානය වෙනුවෙන් ප්‍රධාන දිස්ත්‍රික් සම්බන්ධීකාරක සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරු සදහා ඒ. ඒ. එස්. ස්වර්ණලතා ආර්. කේ. ඒ. මල්කාන්ති මහත්මිය පත් කරන ලද අතර ඔවුන්ට නිල ලාංජන පැලදවීම රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය අතින් සිදුවිය.
කාන්තා දිනයට සමගාමීව වරකාපොළ සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දිළිඳු ගර්භනි මවුරුවරුන් සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදාදීමක් සිදුකරන ලදි.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය, වරකපොළ, පොලිස් ස්ථානයේ අපයෝජන නිවාරණ කාර්යාංශයේ ළමා හා කාන්තා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරි ජයසුන්දර මහත්මිය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, මනෝ උපදේශිකා, රැකවරණ නිලධාරී, Uni Global (Care) සංවිධානයේ ශ්‍රී ලංකා ජාතික සංවිධායකවරියන් ලෙස කටයුතු කරන අවන්ති ලිවේරා මහත්මිය හා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ කාසල් වීදියේ කාන්තා රෝහලේ නියෝජිත, මනෝ උපදේශිකා, ප්‍රසාදිනී වික්‍රමරත්න මෙනවිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ ලේකම් හා Media Protect සංවිධානයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා හා එහි කැඳවුම්කරු සූජීව සෙනරත් මහත්වරුන්, වරකාපොළ ග්‍රාම නිලධාරී මහත්මිය ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණීන් රැසක් සහභාගි මෙම පුහුණු වැඩමුළුව සඳහා එක්ව සිටියහ.
වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ඒ. ඒ. එස්. ස්වර්ණලතා මහත්මිය ඇතුළු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එහි නිවේදන කටයුතු වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු ඩබ්. ජී. ඩී. එන්. වෙදගේ මහත්මිය විසින්ද , වැඩසටහනේ ස්තුති කතාව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් දීපා දමයන්ති මහත්මිය විසින්ද සිදු කරන ලදි.