
දන්ත ධාතුව ලංකාවට ගෙන ආ දන්තපුරය සොයා ගැනීම
- Sujeewa Senerath
- April 17, 2025
- දේශපාලන, පුවත්, විශේෂාංග
- 0 Comments
මහනුවර දළදා මාලිගාවේ අප්‍රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.
අද මහනුවර දළදා මාලිගාවේ තැන්පත්කර තිබෙන දන්ත ධාතුව ලංකාවට රැගෙන ආවේ ඉන්දියාවේ කාලිංග දේශයේ දන්තපුරයෙන් බව මහාවංශය, ධාතුවංශය හා තවත් ශ්‍රී ලාංකික ඉතිහාස පොත් කිහිපයක සඳහන්ව තිබේ. මේ දන්තපුරය නිශ්චිතවම ඉන්දියාවේ පිහිටා තිබූ ස්ථානය කුමක්දැයි මෙතෙක් අනාවරණය නොවී ඇති බව ශ්‍රී ලාංකික බොහෝදෙනා තවමත් විශ්වාස කරති. එසේ නමුත් 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේෂිතවූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාගේ … (සිංහබාහු සොයාගැනීම) කෘතියේ ඔහු ඉන්දියාවේ දන්තපුරය නිශ්චිතවම හඳුනාගැනීම එහි පරිච්චේද දෙකක පිටු 52 පුරා විස්තර කරයි. ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක් විසින් මේ පොත පලකොට දැනට වසර පහක් ගතවීත්, ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයෙන් වැදගත්වන මේ සොයාගැනීම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබීම විමතියට කරුණකි.


දන්තපුරය පිහිටා ඇත්තේ කොහිද?
අජිත් අමරසිංහ මහතා මේ පොතෙහි විස්තර කරන ආකාරයට ලංකාවට දන්ත ධාතුව ක්‍රි ව හතරවැනි සියවසේදී ලංකාවට ගෙන ආ දන්තපුරය පිහිටා ඇත්තේ වත්මන් ඉන්දියාවේ ආන්ද්රාප්රදේශ් ප්‍රාන්තයේ උතුරු කෙලවරේ බෙංගාල බොක්කට ආසන්නයේය. මේ ස්ථානය වත්මන් ඔරිස්සා ප්‍රාන්තයට ඉතා නුදුරින් පිහිටා ඇති අතර මෙය ඓතිහාසික ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ කොටසක්ව පැවතිනි.
මේ ස්ථානය සොයා කොළඹ සිට චෙන්නායි වලටත් එතැන් සිට විසාකාපට්ටනම් වලටත් ගුවනින් ගිය අජිත් අමරසිංහ, එතැන් සිට කි මි 105 ක් මහ මගින් ගොස් දන්තපුරයට ආසන්නම ප්‍රධාන නගරය වන ශ්රීකාකුලම් වෙත ලඟාවී ඇත. ඔහුගේ පැමිණීමෙහි වැදගත්කම අවබෝධ කරගත් ප්‍රදේශයේ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු හා ප්‍රාදේශීය පුවත්පත් කලාවේදියකු එහිදී ඔහු හමුවීමට පැමිණ ඇත. ඔවුන් ඔහුට පවසා ඇත්තේ ඔවුන්ගේ දැනීමේ හැටියට මේ ස්ථානය සොයා ආ මුල්ම ශ්‍රී ලාංකිකයා ඔහු බවයි.
අජිත් අමරසිංහ මහතා මේ පිරිස සමඟ 2015 ජුලි මස 31 වෙනි දින ශ්රීකාකුලම් නගරයේ සිට කි මි 20 ක් දුරින් පිහිටා ඇති දන්ත පුරය පිහිටා තිබූ ස්ථානයට ගොස් ඇත. මේ ස්ථානය දැනටත් හඳුන්වන්නේ “දන්තපුරම්” නමිනි. ගූගල් චන්ද්‍රිකා සිතියමක ඔබ Dantapuram යැයි ටයිප් කළහොත් අදටත් මේ ස්ථානය ඒ සිතියමේ පෙන්නුම් කරයි.



ප්‍රදේශයේ බෞද්ධ නටබුන්
ඒ වනවිට වල්බිහිවී තිබු මේ ස්ථානයේ ඓතිහාසික වැදගත්කම අවබෝධ කරගත් ආන්ද්රාප්රදේශ් රජය මේ කැලයේ තුල විශාල බුදු පිළිමයක් තනා තිබේ. මෙහි ඝන කැලය තුල බෞද්ධ ස්තුප රැසක් ඇති අතර මේවායින් කිහිපයක මිට වසර ගණනාවකට පෙර කැනීම් කර ඇතත් ඒ කැනීම් අතරමග නවතා තිබේ.
මේ දන්ත පුරය වටා තිබු පස්වලින් තැනූ ප්රාකාරයේ කොටස් තවමත් දිස්වෙන අතර මේ පෞරාණික නගරය හෙක්ටෙයාර් 170 පමණ විශාලත්වයකින් යුතුවූ බව ගූගල් සිතියම් ආධාරයෙන් කල ගණනය කිරීම “සිංහබාහු සොයායෑම” පොතෙහි විස්තර කෙරේ. මෙය පිහිටා ඇත්තේ වම්සධාර නදියේ සිට කි මී 2 ක් ඈතිනි. මේ ප්‍රදේශය පුරා දැනට නටබුන්වී ඇති පෞරාණික ස්තුප, බෞද්ධ සිද්ධස්ථාන හා පිළිම රැසක් ඇති අතර මෙයින් විශාලම ස්තුපය දන්තපුරයට කි මි 18 ක් දුරින් පිහිටා ඇති “සාලිහුන්දම්” මහා ස්තූපයයි. මේ ස්තුපය ආශ්‍රිතව ධර්මාශෝක රජුගේ යුගයේ ලියවුනු ශිලාලේඛන පවා සොයාගෙන තිබේ.මේ ස්ථානයට ආසන්නයේ ඇති කාලිංග පට්ටනම් නම් පෞරාණික වරාය අසලද බෞද්ධ ස්තුප රැසක් ඇත. මේ වරාය අසල තිබි රෝමානු කාසි පවා හමුවී ඇති අතර ක්‍රි ව 1 වෙනි සියවසේ විසු “ෆ්ලීනි” නම් රෝමානු ලේඛකයා ගේ සටහනකින්ද මේ ස්ථානය එකල දන්තපුර ලෙස හැඳින්වූ බව සනාථ වේ.
ඒ හැරුණු කල මේ දන්තපුරම් ප්‍රදේශයේ වත්මන වාසය කරන්නන්ද තමන් මේ වැදගත් ස්ථානයේ පාරම්පරිකව සිටින්නන් බව විශ්වාස කරයි. මොවුන් අතර එක පවුලක් සතුව දන්ත ධාතුව එහි තිබියදී එය ආවරණය කල කුඩා රත්රන් පත් දෙකක් රහසිගතව තිබෙන බවට කටකතාවක් මේ ප්‍රදේශයේ තිබේ.




දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ඇයි?
මහා වංශයට හා වෙනත් වංශකතාවලට අනුව දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ක්‍රි ව 4 වෙනි සියවසේ (ක්‍රි ව 303- 331) රජකම් කල කිත්සිරිමෙවන් රජ දවසය. මේ විස්තරවලට අනුව එකල දන්තපුරයේ තිබු දන්ත ධාතුව පැහැර ගැනීමට කීරධාර නම් රජෙකු එය වටකළ විට එහි රජකම් කලේ ගුහසීව නම් රජුය . එවිට ඔහු තම දු කුමරිය වන හේමමාලි හා ඇයගේ සැමියාවූ දන්ත කුමරු අත හොර රහසේ දන්ත ධාතුව ලංකාවට එවිය. එයට හේතුව මේ කීරධාර රජුට වඩා තම මිතුරු ලංකාවේ රජකම් කල මහාසේන රජුගේ අතට දන්ත ධාතුව පත්කිරීමට ඔහුට තිබු උවමනාවයි. හේමමාලි හා දන්ත කුමරු ලංකාවට පැමිණෙනවිට මහාසේන රජු මියගොස් අනුරාධපුරයේ රජුව සිටියේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන්ය.ඔහු මේ දන්ත ධාතුව අභයගිරියේ තැන්පත්කොට වසරක් පාසා දළදා පෙරහරක් සංවිධානය කළේය. ලංකාවට දළදාව ගෙනවිත් වසර කිහිපයකට පසු ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුවද මේ දළදා පෙරහැර දුටුවේය.
මේ ඉතිහාස කතාව තවදුරටත් සනාථ කරමින් කීරධාර නමට ඉතා සමාන “කිදාර” නම් රාජවංශයක් ඒ අවදියේම වයඹදිග ඉන්දියාවේ රජකම් කල බවත්, මොවුන්ද බෞද්ධයන් වූ බවටත් ඓතිහාසික සාක්ෂි රැසක් ඇති බවත් අමරසිංහ මහතාගේ ග්‍රන්ථයේ සඳහන් වේ.
අවධානය යොමුවිය යුතුයි
ශ්‍රී ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමට පෙර ඉන්දියාවේ එය තිබු ස්ථානය ගැන විද්‍යාත්මක සාධක රැසක් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා තම ග්‍රන්ථයේ දීර්ඝව විස්තර කරයි.ලංකාවේ බෞධයන්ට ඉතා වැදගත්වන ඉන්දියාවේ දන්තපුරය ගැන දෙරටේ ඉතිහාඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය දැන්වත් යොමු විය යුතුය.
සටහන සුජීව සෙනරත් විසිනි