ජාතික රෝහලේ CT – MRI පරීක්ෂණවලට දින දීම නවතී

තොරතුරු ජාලගත පද්ධතිය බිඳවැටිලා
කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය (PAC system) සති දෙකක සිට සේවා බිඳවැටීමකට ලක්වීමෙන් සී.ටී. (CT) සහ එම්.ආර්අයි. (MRI) පරීක්ෂණ සඳහා රෝගීන්ට දින ලබාදීම නවතා දමා ඇතැයි පරිපූරක වෛi වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

වසර කිහිපයකට පෙර ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතියක් ස්ථාපනය කළ අතර ඉන් අනතුරුව සිදුකරන විකිරණ පරීක්ෂණ (CT, MRI) ඇතුළු රෝග විනිශ්චය සේවාවට අදාළ සියලු විකිරණ පරීක්ෂණවල ඡායාරූප සහ තොරතුරු එම පද්ධතියට එකතු කර ඇති බව එම බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසයි.

සති දෙකක සිට මෙම තොරතුරු ජාලගත කිරීමේ පද්ධතියේ කටයුතු නවතා දැමීමට හේතු වී ඇත්තේ එම සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීම සහ තොරතුරු පද්ධතියේ ජාල දත්ත ගබඩාව සම්පූර්ණයෙන්ම පිරීම නිසා බව හෙතෙම කියයි. ඉතා විශාල මූලික වියදමක් දරා වාර්ෂිකව නඩත්තුව සඳහා ද ඉහළ වියදමක් දැරීමට සිදුව ඇති මෙම පද්ධතිය මේ වනවිට සුදු අලියෙක් තත්ත්වයට පත්ව ඇතැයි හෙතෙම පවසයි.

මේ වනවිටත් රෝගීන්ගේ CT සහ MRI පරීක්ෂණ නවතා දමා ඇති අතර ඒ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පවසන චානක ධර්මවික්‍රම මහතා පවතින තත්ත්වය යටතේ රෝගී පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මැදිහත්ව අවශ්‍ය පාර්ශ්වයන් කැඳවිය යුතුව ඇතැයි ද අවධාරණය කර සිටී.

සුජීව තත්සර

Leave A Comment