ලෝක කම්කරු දිනය අද

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.

1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ.

මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.

ඒ අනුව කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ.

ජාතික ජනබලවේගය විසින් සිය මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

“රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ. “රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බවය.

මේ අතර පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

“රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු” යන තේමාව යටතේ මෙවර පොදුජන පෙරමුණ සිය මැයි රැලිය සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය මෙවර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියන්න මහතා පැවසුවේ “බොරුව නවතනු – පොරොන්දු ඉටුකරනු” යන තේමාව යටතේ සිය පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර සර්ව ජන බල පක්ෂය විසින් “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාව යටතේ මෙවර මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වරකාපොළ සතිපොළ භූමියේ දී උදෑසන 10.30ට මැයි දින රැලිය පැවැත්වීමට නියමිතය.

මේ අතර අද දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබේ.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැයි දින පෙළපාළි සහ රැස්වීම් සදහා කොළඹ නගරය වෙත පැමිණෙන බස් රථ ගාල් කිරීම සදහා විශේෂ රථගාල සකස් කර ඇති බව ද ඉන්දික හපුගොඩ මහතා මෙහිදී සදහන් කළේය.

Leave A Comment