
මැතිවරණ සුපිලිපන් බවට අභියෝගයක් වූ දුස් තොරතුරු
- Sujeewa Senerath
- May 4, 2025
- දේශපාලන, විශේෂාංග
- election, election commission
- 0 Comments
වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ පළාත් පාලන ආයතනය හැර සෙසු ආයතන 339 සඳහා ම මැතිවරණය පැවැත්වීමද විශේෂත්වයකි.)
නාම යෝජනා ලැයිස්තු අවලංගු වීමට එරෙහිව නඩු පැවරීම හා ඊට ලැබුණු උසාවි තීන්දු හේතුවෙන් පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය කල් ගත විය හැකි බවට වාර්තා පළ වුවද සියලු ආයතන සඳහා මැයි 06 වනදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. කල්මුණේ නගර සභාවේ සීමා නිර්ණයන් පිළිබඳව ඇරඹුණු නඩු විභාගය තවමත් අවසන්ව නොමැති වීම හේතුවෙන් එම ආයතනය සඳහා මැතිවරණය මෙවර නොපැවැත්වෙනු ඇත.
පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු වසර 2018 ට සාපේක්ෂව මෙවර පවතින්නේ තරමක ඇල්මැරුණු ස්වභාවයකි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පැවති උණුසුම හා උද්යෝගීමත් භාවය ද පෙනෙන්නට නොමැත. පසුගිය සතිය වන විට මැතිවරණ කොමිසමට ලැබී තිබූ පැමිණිලි අතරද බරපතල ගණයේ මැතිවරණ නීති උල්ලංඝනය වීම් සම්බන්ධව පැමිණිලි තිබුණේ අතලොස්සකි. කෙසේ නමුත් මැතිවරණයේ අවසන් දින 20 පමණ වන විට මැතිවරණ උණුසුම තරමක් වැඩි වන්නට පටන් ගෙන තබූ අතර අපේක්ෂකයින් 71,000 වැඩි පිරිසක් තරඟ වදින නිසාම මැතිවරණ උණුසුම මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමද වැඩි විය හැකි බවට මැතිවරණ කොමිසමේ අදහසය.
ගමේ පුංචි චන්දය නිසාම ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් දක්නට ලැබුණු මහා පරිමාණ ප්රචාරක කටයුතු මෙවර දක්නට නැත. ජාතික ජන බලවේගය හැරුණු කොට වෙනත් කිසිදු පක්ෂයක් ප්‍රධාන රැළි පවත්වන බවක් පෙනෙන්නට නොමැත. ප්රචාරක කටයුතු බොහොමයක් සීමා වී ඇත්තේ වතු රැස්වීම් වැනි කුඩා රැස්වීම් වලටය.
නිවෙස් වලට ගොස් ඡන්දදායකයන් හමුවීම හැරුණු කොට බොහෝ අපේක්ෂකයන් එම ප්රචාරක කටයුතු සඳහා වඩා අඩු වියදමකින් යුත් සමාජ ජාල වේදිකා යොදාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද තම මැතිවරණ කටයුතු සමාජ ජාල ඔස්සේ පවත්වාගෙන යාම හරහා මතුව තිබෙන බරපතල සමාජ ගැටලුවක් වී ඇත්තේ පළාත් පාලන ආයතන මට්ටමින් පවතින අභියෝග සහ ගමේ මහජන ගැටලු බොහෝ දෙනෙකුටම අමතක වී යාමය.
සමාජ ජාල මැතිවරණ වේදිකාවේ සංවාදයට ලක්ව තිබෙන්නේ එක්කෝ රටේ ආර්ථිකය පිළිබඳ වාදයකි. නැත්නම් ඇමරිකානු ජනාධිපතිවරයාගේ බදු පිළිබඳ වාදයෙකි. එසේත් නැතිනම් දළදා ප්‍රදර්ශනය හෝ ආණ්ඩුව කරපු හෝ නොකරපු වැඩ පිළිබඳ වාදයකි. නමුත් ගමේත් නගරයේත් පවතින යටිතල පහසුකම් පානීය ජලය, සනීපාරක්ෂාව, පෙර පාසල් වැනි ගැටලු පිළිබඳව සංවාදයක් සමාජ ජාල වේදිකාව තුළ නොමැත.
මැතිවරණ ප්රචාරක කටයුතු ඇරඹුණ මුල් වකවානුවේදී සමාජ ජාල වේදිකාව මත ද පවතිනුයේ නිහඬියාවකි. නමුත් මැතිවරණයේ අවසන් සති තුන පමණ වන විට එහි වර්ධනයක් දක්නට හැකි විය. සමාජ මාධ්‍යය තුළ ජාතික මට්ටමේ සංවාදයක් පැවතීම නිසාම අව තොරතුර (misinformation) දුස් තොරතුරු (Disinformation) මෙන්ම අප තොරතුරද (Misinformation) සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වන්නට පටන් ගැණිනි. ජනාධිපතිවරණයේදී හා සමානව නොවුනද වෛරී කථනයටද (Hate speech) විවිධ දේශපාලන නායකයන්ට හා අපේක්ෂකයන්ට එරෙහිව ප්‍රචාරය වන්නට විය.
යම් පුද්ගලයෙකුට සමාජ කණ්ඩායමකට හෝ සංවිධානයකට හානි කිරීමේ අරමුණ ඇතිව සිතා මතාම නිර්මාණය කරනු ලබන දුස් තොරතුරු බොහොමයකට ගොදුරු වූයේ දේශපාලන නායකයන් සහ මැතිවරණ අපේක්ෂිකාවන්ය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ වූ ඉම්පැක්ට් වොයිස් (Impact voice) ආයතනයේ සම නිර්මාතෘ සහ සමාජ මාධ්‍ය නිරීක්ෂකයෙක් වන දර්ශත ගමගේ මහතා සදහන් කළේ සමාජ ජාල වේදිකාවන් නිරීක්ෂණය කිරීමේදී ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් වඩා අඩු මට්ටමින් දුස් තොරතුරු හා වෛරී කථනය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය තුළ දක්නට ලැබුණද අවසන් සති කිහිපයේදී එහි වැඩිවීමක් නිරීක්ෂණය කළ බවය.
” අසත්‍ය සහ දුස් තොරතුරු යම් තරමකට සමාජගත කිරීමක් තිබෙනවා. ඒවගේම දේශපාලන නායකයන් සහ අපේක්ෂකයන් කරනු ලබන ප්‍රකාශන විකෘති කර වැරදි වැටහීමත් ඇතිවන ආකාරයෙන් එම ප්‍රකාශන සමාජ ගත කිරීමක් සිදුකරන ආකාරයත් අපට නිරීක්ෂණය වුනා.” ගමගේ මහතා පැවසුවේය.
මෙම ව්‍යාජ තොරතුරු කරුණු පිරික්සීම සහ සත්‍යාපනය:ත්්ජඑ ක්යැජනසබට * හරහා සමාජ ජාල වේදිකාවලින් ඉවත් කිරීම මෙවර අභියෝගයක් වූ බව පැවසූ ගමගේ මහතා මෙටා, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික්ටොක් වැනි ප්‍රධාන සමාජ ජාල වේදිකා පවත්වාගෙන යන සමාගම් පළාත් පාලන මැතිවරණය ප්‍රධාන මැතිවරණයක් ලෙස නොසැලකීම ඊට එක් හේතුවක් බව සඳහන් කළේය. මේ නිසා සමාජ ජාල සමාගම් පවත්වාගෙන යනු ලබන ප්‍රජා ප්රමිතීන් මගින් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම තෙක් එවන් තොරතුරු සමාජ මාධ්‍යය වේදිකාව තුළ පවතින බවද ඔහු කියා සිටියේය.
මෙවර මැතිවරණයේදී වැරදි සහ දුස් තොරතුරු ප්‍රචාරය වීම සම්බන්ධව සඳහන් කළ හැකි ප්‍රධානතම කාරණා වන්නේ ඇතැම් සමාජ ජාල වේදිකාවල තැපැල් ඡන්දය සම්බන්ධව පළවූ වැරදි තොරතුරු සහ මත විමසූම් හරහා පිළිබඳ පළවූ ව්‍යාජ තොරතුරුය. තැපැල් ඡන්දය පැවති දින වලදී විවිධ රජයේ ආයතනවල තැපැල් ඡන්ද ප්‍රතිඵලය යැයි කියමින් සමාජ මාධ්‍යය තුළ සංඛ්‍යාලේඛණ පළ කර තිබුණේ ජනතාව නොමග යවමිනි. තැපැල් ඡන්දය ද ගණන් කරනුයේ මැතිවරණ දිනයේදී ඡන්දය ප්රකාශවීම අවසන් වීමෙන් පසු පමණක් බව බොහෝ දෙනක් දන්නා නමුදු විවිධ ප්‍රතිඵල දක්වමින් ඡන්දයට බලපෑමක් කිරීම එම තොරතුරු පළ කළ පුද්ගලයන්ගේ ඉලක්කය වී තිබුණි.
ජනාධිපතිවරණයේදී මෙන් නොව මෙවර මැතිවරණයේදී යම් අඩුවක් පැවතුනද ව්‍යාජ මත විමසුම් හරහා සමාජ ජාල මේ වේදිකා පරිහරණය කරනු ලබන පිරිස් තවදුරටත් නොමඟ යැවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව මැතිවරණ නිරීක්ෂකයන් නිරීක්ෂණය කර තිබුණි.මෙම මත විමසුම් වල විධි ශාස්ත්‍රය , මත විමසුමට සහභාගී වූ පිරිස වැනි කිසිඳු තොරතුරක් එහි අන්තර් ගත වී නොතිබුණි.
වෛරී ප්රකාශයන්ට මෙරට මැතිවරණ වලදී වැඩි ඉඩක් ලැබී තිබුණේ 2018 වර්ෂයේදීය. මැතිවරණ කොමිසම මෙන්ම මැතිවරණ නිරීක්ෂණයන්ද වෛරී කථනය අවම කිරීමට එවර යම් සූදානමකින් සිටියද ඔවුන්ටද පාලනය කරගත නොහැකි ආකාරයෙන් වෛරීකථනය හා දුස් තොරතුරු පළවීම 2018 ජනාධිපතිවරණයේදී එහි සුපිළිපන් බවට අභියෝගයක් විය.
වෛරී කථනයට හා දුස් තොරතුරු වල යම් වශයෙන් හෝ ගොදුරක් බවට පත්ව තිබෙන්නේ අපේක්ෂිකාවන්ය ඔවුන්ට එරෙහිව තවමත් ව්‍යාජ තොරතුරු හා මඩ ප්රහාරයන් එල්ල වෙමින් තිබෙන බව දක්නට හැක. මේ ආකාරයේ ප්‍රහාර සැම විටම එල්ල වනුයේ දේශපාලයේ කාන්තා නියෝජනය අවම කරලීමේ චේතනාව ඇතිවය.
කෙසේ වුවද ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක නිලධාරී සහ මැතිවරණ නිරීක්ෂකයෙක් වන මංජුල ගජනායක මහතා පවසන අන්දමට වෛරීකථනය මේ වනවිට විට සියලු ප්රස්ථාරයන්ගෙන් පහලට ඇදී ගොස් ඇත.
“මේ වෙනකොට නිරීක්ෂණය කරන දෙයක් තමයි සමාජ ජාල තුළ වෛරි කථනය අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇති බව. වෛද්‍ය සාෆි මහතා පිළිබඳ වෛරී කථනයෙන් පසුව සමාජය තුළ ප්‍රබල කතාබහක් ඇති උනා වෛරී කථනයට එරෙහිව. එහි ප්‍රතිඵලයක් ලෙස අද සමාජය තුළ වෛරී කථනයට ඉඩකඩක් නැහැ. ඒවගේම පහුගිය කාලය පුරාවට පැවැති මාධ්‍ය පුහුණුවීම් සහ සමාජ ජාල ගිණුම් පවත්වාගෙන යන ක්‍රියාකාරීන් සමග පැවති සංවාද හේතුවෙන් වෛරීකථනය අවම කර ගැනීමට හැකිවෙලා තියනවා.” ගජනායක මහතා කීය.
සමාජ ජාල තුල සංසරණය වන දුස් තොරතුරු, අවතොරතුරු සහ වෛරී ප්‍රකාශයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීමට මැතිවරණ කොමිසම පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් කමිටුවක් පවා පත් කර වැඩපිළිවෙලක් ආරම්භ කළ අතර එම ක්‍රියාදාමය එලෙසම පැවතිද සමාජ ජාල වේදිකා පවත්වාගෙන යන සමාගම් මෙවර ලබා දෙන අවම සහයෝගය මැතිවරණ කොමිසමට ද අභියෝගයක් වී ඇත
“මෙටා වැනි සමාගම් පළාත් පාලන මැතිවරණය ජාතික මට්ටමේ ප්‍රධාන මැතිවරණයක් ලෙස ගණන් ගන්නේ නැහැ.” ඔවුන් පසුගිය මැතිවරණ දෙකේදී අප සමග ඉතා සමීපව කටයුතු කළා. නමුත් මෙවර ඒ සහයෝගය නැහැ. එම නිසා සමාජ ජාල වල පළවෙන තොරතුරු ඉවත් කිරීම මේ මැතිවරණයේදී පහසු නැහැ යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය” .
වෛරී ප්රකාශනවල අඩුවක් මෙවර මැතිවරණයේදී දක්නට ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයාද පිළිගනු ලබයි. කෙසේ නමුත් උතුරේ තරග වදින අපේක්ෂිකාවන්ට එරෙහිව ඔවුන්ගේ කුලය වැනි විවිධ කරුණු යොදා ගනිමින් විකෘති ප්‍රහාර එල්ල කෙරෙන බව නිරීක්ෂණය වී ඇතැයිද සමහර දෙමළ දේශපාලකයන් පවා ඊට පෙරමුණු ගෙන තිබෙන බවද රත්නායක මහතා සඳහන් කළේය.
සමාජ මාධ්‍ය තුළ ජාතික මට්ටමේ සංවාදයකට වැඩි ඉඩකඩක් හිමිවීම හේතුවෙන් සාකච්ඡාවට බඳුන් නොවූ තවත් ප්‍රධානතම කාරණා දෙකක් වනුයේ දේශපාලනයේ 25්‍ර කාන්තා කෝටාව සහ අපේක්ෂක ලැයිස්තුවට මෙවර හඳුන්වා දුන් 25්‍ර තරුණ කෝටාවය. පළාත් පාලන නීතියෙන්ම සෑම පළාත් පාලන ආයතනයකම සභිකයන් අතර 25්‍ර කාන්තාවන් සිටිය යුතු බව නියමව ඇති නමුත්, එම ආයතන නියෝජනය කරනු ලබන කාන්තාවන් ප්‍රමාණය 25්‍ර ට වඩා ඉහළ දැමීමට ඡන්දදායකයන්ට ඇති අවස්ථාව සංවාදයට ගැනුණේ නැත. නාම යෝජනා ලැයිස්තුවල අපේක්ෂකයන් ලෙස සියයට 25්‍ර ක් තරුණයන් සිටින නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ජයග්‍රහණය කරවා ගමේ ආණ්ඩුවේ තරුණ ජවය ශක්තිමත් කරවීමට හඬක් නොමැත. තරුණයන්ට ගමේ ආණ්ඩුව නියෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම ඔවුන් ඉච්ඡා භංගත්වයෙන් මුදවා ගැනීමට රුකුලක් වනු ඇත.
මැතිවරණයට ආදාළ දුස් තොරතුරු වාර්තාකරණය පිළිබද මැතිවරණ කොමිසම පවා නියම කළ කොතෙකුත් මාධ්‍ය උපමාන තිබුණද දුස් තොරතුරු වාර්තා කිරීම් සමාජ මාධ්‍යවලදි මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළද බහුලව දක්නට ඇති ප්රවණතාවයකි. මෙයින් මැතිවරණයකට අදාළව ජන මනස විකෘති කිරීම් සිදුවන නිසා මේ සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත.
ප්‍රධාන දුස් තොරතුරු නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පතක පිටුසැලසුමක් ආකාරයට එහි පළවු ප්‍රධාන පුවතක් ලෙසිනි.
තවත් ව්‍යාජ හෝ දුස් තොරතුරු පළවන්නේ ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය රූපවාහිනි හෝ ගුවන්විදුලියක සමාජ මාධ්‍ය ගිණුමක පෝස්ටුවක් මෙන් පෙනෙන ආකාරයටය. ඒ නිසාම මහජන ආකර්ශනය වැඩි වශයෙන් ඒ පුවතට ලැබෙන අතර එවයින් ලැබෙන ප්‍රතිපලය අතිශයින් තීරණාත්මක විය හැකිය. එබැවින් සමාජ මාධ්‍ය තොරතුරු ව්‍යාකූලතාවය හරහා විවිධ න්‍යාය පත්රයන් සහ මතවාදයන් ඇතිකර දීමේ ප්රයත්නයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම ඡන්ද දායකයන් විසින් සිදු කළ යුතුය. ප්‍රචාරය වනු ලබන තොරතුරු වල මූලාශ්රයන් හා විශ්වසනීයත්ව පිළිබඳව යම් සාක්ෂරතාවතාවයන් ඇතිකර ගැනීමද ඡන්දදායකයන්ගේ වගකීමකි.
| නාමල් විජේතුංග