
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනේ
- Sujeewa Senerath
- May 6, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- migrant, Myanmar cyber
- 0 Comments
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) දින මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.
15 දෙනාගෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස අද පෙරවරුවේ මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා. ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
මෙම පිරිස මුදවාගනු ලැබුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුවයි.
සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකියන් මුදවාගැනීමේ ක්‍රියාවලියට රාජතාන්ත්‍රිකව මැදිහත් වූ තායිලන්ත තානාපති කාර්යාලය, ප්‍රවාහන පහසුකම් සැලසූ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර කාර්යාලය, සෙසු සුබසාධන පහසුකම් සැලසූ රාජ්‍ය නොවන ආයතන සහ තායිලන්ත හා මියන්මාර රජයන්ගේ කාර්යභාරය අමාත්‍ය විජිත හේරත් මහතා ඇගයීමට ලක් කළේ ය.
මීට පෙර ඉකුත් මාර්තු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබුවා.
සකීෆ් සාම්
මාධ්‍ය ලේකම්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය
