තොරතුරු දැන ගැනීමේ කොමිසමේ අද තත්ත්වය

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන නායකයින්, සිවිල් සමාජය සහ මාධ්‍ය වෘත්තිකයින් ද ඇතුළු විවිධ පාර්ශ්ව විසින් වසර ගණනාවක් පුරා ගෙන ගිය දැඩි අරගලයක හා බලපෑම්වල ප්‍රතිඵලයකි. එකී පනතට 2016 අගෝස්තු මස 04 වැනි දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමග එය බලාත්මක විය.

මෙම පනතෙහි පූර්විකාවේ මෙසේ සඳහන් විය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව මඟින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මඟින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් ද එමඟින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේ දී සක්‍රීය ලෙස සහභාගී විය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද ශ්‍රී ලංකා ජන රජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත තව දුරටත් වැදගත් හා සුවිශේෂ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මඟින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිවාසිකම මූලික අයිතියක් ලෙස පිළිගැනීම ය.

එදා යහපාලන රජය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ සම්මත කරනු ලැබුවේ යහපාලනයක් ගැන මහත් බලාපොරොත්තු සහිතව ය. එසේම මෙම පනත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ආසියාවේ හොඳ ම පනත ලෙස එකල සලකනු ලැබුවේ ය. කෙසේ වෙතත් ගෙවී ගිය දශකයකට ආසන්න කාලය තුළ රට තුළ සිදු වූ ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සහ සංකීර්ණතා මෙම පනතට ද බලපෑම් කළ නමුත් රජයේ මූලික ප්‍රමුඛතාවක් ලෙස දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන පසුබිම තුළ මෙම පනතේ සහ පනත මඟින් ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂමේ අවශ්‍යතාව ද දැඩිව පවතී.

තොරතුරු දැන ගැනීමේ කොමිසම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 11 වන වගන්තිය ප‍්‍රකාරව සංස්ථාපනය කරනු ලැබූ  ප‍්‍රධාන අධීක්ෂණ හා බලාත්මක කිරීමේ ආයතනය වේ. ව්‍යවස්ථාපිතව ස්වාධීන ආයතනයක් වන මෙයට තොරතුරු දැනගැනීමේ අයිතිය ඉටු නොකිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමත් වරදකාරී නිලධාරීන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් බලය ඇත. තව ද පනතේ 15 38(2) සහ 39(4) යන වගන්තිය යටතේ අර්ථ දැක්වෙන වැරදි සිදු කරන පුද්ගලයන්ව අභිචෝදනයට ලක් කිරීමටද මෙම කොමිෂන් සභාවට බලය තිබේ.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සමන්විත වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සභාපතිවරයෙකුගෙන් හා සාමාජිකයන් සිව් දෙනෙකුගෙනි. මේ අරමුණ සඳහා  ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය,  මාධ්‍ය සංවිධාන, සහ  වෙනත් සිවිල් සංවිධාන විසින් නම් කරනු ලැබූ එක් තැනැත්තෙක් බැගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබිය යුත්තේය. (12(1) උපවගන්තිය).

කොමිෂන් සභා සාමාජිකයෝ හෙවත් කොමසාරිස්වරු වසර 5 ක් සඳහා සිය ධුරය හොබවති. (තොරතුරු පනතේ 12(6) උප වගන්තිය). තවද ඔවුහු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(7) උපවගන්තියේ විධිවිධාන යටතේ හෙළිදරව් කළ නොහැකි තොරතුරු හෙළිදරව් නොකළ යුතුය. කොමිෂන් සභාව විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෙසු නිලධරයන් සහ සේවා නියුක්තිකයන් අවශ්‍යතාවය අනුව පත් කරනු ඇත.

කොමිසමේ වත්මන් තත්ත්වය

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතා (09.12.2021 – 04.03. 2025) 2025.03.04 දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීමෙන් සිදු වූ පුරප්පාඩුව මේ දක්වා (2025 ජූනි 17) පුරවා නැත.

මෙම පසුබිම තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් සමාජය තුළ ද බලවත් කණස්සල්ලක් පවතී. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් බලවත් උනන්දුවකින් කටයුතු කළ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ  නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය අප්‍රේල් මස 21 වැනිදා “තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇත” යන ශීර්ෂ පාඨය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළේය.  එම නිවේදනය මඟින් සාධාරණ සමාජය දැඩි ලෙස අවධාරණය කළේ, තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බවයි.

ඉහත පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාද මාලාවේ 229 වැනි කතිකාවේ දී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂමේ අද තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. මෙම කතිකාව වෙනුවෙන් මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන, අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ මෙම පනත කෙටුම්පත් කිරීමේ කටයුතුවලට සක්‍රීයව සහභාගී වූ නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන සහ නීතිඥ තරිකා හේවගේ සහභාගී වූහ. මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේ ය. මෙම ලිපිය එම කතිකාව ඇසුරින් සම්පාදනය කර ඇත.

| සභාපති පුටුව හිස්ව තබාගෙන ගන්නා ඕනෑම තීන්දුවක් අනීතික එකක් විය හැකියි – නීතිඥ තරිකා හේවගේ

මෙම පනතට අනුව කොමසාරිස්වරු තිදෙනකුගේ සහභාගීත්වයෙන් කොමිසමේ විෂය පථයට අදාළ ඕනෑම තීන්දුවක්, පරීක්ෂණයක් හෝ පැමිණිලි විභාගයක් කරන්න පුළුවන්. නමුත් නියමිත සාමාජිකයින් සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් සහිතව කටයුතු කිරීමේ දී වැඩ කටයුතු පමා වීම නොවැළැක්විය හැකියි. ඒ වගේම තමයි තොරතුරු කොමිසම විසින් ගන්නා වූ තීන්දු – තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්න පුළුවන් නීතිඥ තරිකා හේවගේ සංවාදයට ප්‍රවේශයක් ගනිමින් පැහැදිලි කළාය.

ඇය මෙහිදී පෙන්වා දුන්නේ කොමිසමේ නිල මුද්‍රාව තැබීමට හැකි වන්නේ සභාපතිවරයා ඉදිරියේ පමණක් වන අතර එය තැබිය යුතු වන්නේ තවත් කොමසාරිස්වරුන් දෙදෙනකු ඉදිරියේ බවයි.

කොමිසමේ මුද්‍රාව අනිවාර්යයෙන් තැබිය යුතු අවස්ථා මොනවාද? එවැනි අවස්ථා කිහිපයක් වන්නේ නිර්දේශ ලබාදීමක්, කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ නඩුවක් පවරන අවස්ථාවේ පෙරකලාසියේ අනිවාර්යයෙන් මුද්‍රාව තැබිය යුතුයි. මෙවැනි අවස්ථාවක සභාපතිවරයෙකු රහිතව මුද්‍රව තැබීම සිදු වුණොත් කොමිෂන් සභාව විසින් පවරනු ලබන නඩුවක විරුද්ධව ද තර්ක කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම තොරතුරු කොමිසමට එරෙහිව පවරන නඩුවකදීත් මේ ආකාරයෙන්ම කටයුතු කළ හැකියි. එහිදීත් මේ ආකාරයෙන්ම ඒ කියන්නේ සභාපතිවරයෙකු නොමැති තත්ත්වයක් තුළ කොමිසමේ මුද්‍රාව තැබීම අනීතික බවට තර්ක කරන්න පුළුවන්. මේ තත්ත්වය තව දුරටත් සරලව පැහැදිලි කළහොත් කොමිසමේ සභාපති ධූරය පුරප්පාඩුව පවතින අවස්ථාවක එහි මුද්‍රාව තැබීමට කිසිම හැකියාවක් නැහැ. මෙය කොමිසම විසින් පවරන නඩුවකදී මෙන්ම කොමිසමට එරෙහිව පවරනු ලබන නඩුවක් සම්බන්ධයෙන් ද අදාළයි නීතිඥ තාරිකා වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

මෙහිදී ඇය යළි යළි අවධාරණය කළේ කොමිසමේ නිර්දේශ, නියෝග ඇතුළු අදාළ සෑම අවස්ථාවකදීම නිල මුද්‍රාව තැබිය යුතු බවත් නිල මුද්‍රාව තැබීමේ එකම බලධාරියා වන්නේ කොමිසමේ සභාපතිවරයා බවත් ය.

සභාපතිවරයා නැතිව එහි නිල මුද්‍රාව තබනවා නම් අධිකරණයම කටයුත්තකදී ඒක හබ කරන්න පුුළුවන් ඇය යළි අවධාරණය කළාය.

අවසන් තීන්දුව

මෙහිදී නීතිඥ තරිකා පෙන්වා දුන්නේ කොමසාරිස්වරුන් සිවු දෙනකු විසින් ගනු ලබන තීන්දුවක් සම වුවහොත් (2/2) තීරණාත්මක ඡන්දය හිමිවන්නේ ද සභාපතිවරයාට බවයි.

කොමිසමේ සභාපති ධුරය හිස්ව පවතින අවස්ථාවක එහි තීන්දුවකට එරෙහිව අධිකරණය හමුවට ගියොත් කොමිසමේ සභාපති පුටුව හිස්ව පැවතීම ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි යම් කිසි ආකාරයකට කොමසාරිස්වරුන් විසින් සමාන බෙදුණු තීන්දුවක් (2/2 වැනි) ගත්විට සභාපති ධූරය හිස්ව පවතින තත්ත්වයක් තුළ තීරණාත්මක ඡන්දය ප්‍රකාශ වීමක් සිදුවන්නේ නැහැ. මෙය පහසුවෙන් අභියෝගයට ලක්විය හැකියි කොමිසමේ සභාපති ධුරය හිස්ව පැවතීම එහි ක්‍රියාකාරීත්වයට කොතරම් හානිකර දැයි පැහැදිලි කරමින් නීතිඥ තාරිකා හේවගේ වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.

| මේ තත්ත්වය පුරවැසියන් අභියෝගයක් ලෙස සැලකිය යුතුයි – නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැත. මෙම පනත ලෝකයේ ඉදිරියෙන්ම තැබිය හැකි ඉතාම දියුණු පනතක් බව බොහෝ දෙනකුගේ අදහස වූ අතර ඒ ගැන ආඩම්බර ද විය. කෙසේ වෙතත් මේ වන විට කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව සිවු දෙනකු වන අතර ගැටලුවකින් තොරව කටයුතු කිරීමට එම සංඛ්‍යාව ප්‍රමාණවත් ය.

පනත අනුව ගණපූර්ණය තිදෙනෙක් පමණයි. නමුත් මේ වන විට සාමාජිකයින් සිවු දෙනකු සිටිනවා. ඒ නිසා සාමාන්‍ය පරිදි කොමිසමේ කටයුතු කරගෙන යාමට ගැටලුවක් නැහැ. නමුත් යම් යම් තාක්ෂණික ගැටලු ඇතිවීමේ හැකියාව කිසිසේත් බැහැර කළ නොහැකියි. නමුත් ප්‍රශ්නය තමයි පස්වැනි සාමාජිකයා පත් නොකිරීම මේ සාමාජිකයින් අතරින් සභාපතිවරයෙකු පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. නමුත් ප්‍රශ්නය වන්නේ මේ පස්වැනි සාමාජිකයා නම් කිරීම. ඒක කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනුයි. නමුත් මේ දක්වා මෙම සාමාජිකයා පත් කිරීමට පියවර ගෙන නැහැ නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන තොරුතුරු කොමිසම වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ය.

මෙහිදී ඔහු අවධාරණයෙන් පෙන්වා දුන්නේ තොරතුරු කොමිසමේ සභාපතිවරයා පත්කළ යුතු වන්නේ ජනාධිපතිවරයා විසින් බව යි.

අවුල් ගණනාවක්

ඕනෑම ආයතනයක ප්‍රධානියා පත් නොකිරීම හේතුවෙන් නොයෙකුත් ගැටලු ඇති වීම ස්වභාවිකය. ඒ අතර සම්පත් හිඟකමින් ද තොරතුරු කොමිසම දුෂ්කරතාවට ලක්ව ඇත.

මේක ඉතා ම බරපතළ ප්‍රශ්නයක්. කොමිසම පවත්වා ගෙන යාමට තරම් මානව සම්පත් නැහැ කියන්නේ ගැටලුකාරී තත්ත්වයක්. අපි ලෝකයේ ඉතාම දියුණු තොරතුරු අයිතිවාසිකම සම්බන්ධ පනත සම්මත කර ගෙන තිබෙනවා. ඒ පනත යටතේ කොමිෂන් සභාවකුත් පත්කරලා තිබෙනවා. මේ හරහා අයිතිවාසිකම්වල පරාසය පුළුල් කිරීමක් ද සිදු වෙනවා. නමුත් මේ පවතින තත්ත්වය හේතුවෙන් ඉහත දක්වන ලද වටිනාකම් දුර්වල වීමක් සිදුවෙනවායැයි කී ජනරංජන මෙසේ ද සඳහන් කළේය, අපි දියුණු නීති, දියුණු ආයතන හදලා තිබෙනවා. නමුත් ඒවා පවත්වා ගෙන යාමේ දී ගැටලු නිර්මාණය කරනවා. මෙහිදී අදාළ කොමිෂන් සභා සම්බන්ධයෙන් රජයේ දැක්ම ස්ථාවරය ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි තොරතුරු අයිතිවාසිකම හරහා සිදුවන්නේ රජයට එරෙහිව පුරවැසියා බලගැන්වීමක්

රජය කරන දේ

මෙවැනි අවස්ථාවකදී රජය පුරවැසි අයිතිය සංකෝචනය කරමින් යළි තම බලසීමාව පුළුල්කර ගන්නා බව ද මෙහිදී ජනරංජන පෙන්වා දුන්නේ ය.

මේක සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. මේ අවස්ථාවේ සිදුවෙමින් පවතින්නේ ද ඒක ම තමයියැයි කී ජනරංජන පෙන්වා දුන්නේ පනත දුර්වල කිරීමට කිසිම රජයක් මෙවැනි තත්ත්වයක් තුළ පියවර ගනු ඇතැයි තමා නොසිතන බවයි.

පනත දුර්වල කිරීමට පියවර නොගන්නා නමුත් මෙම පනත හරහා පිහිටුවා ඇති ආයතන යම් යම් ආකාරයෙන් දුර්වල කිරීමට පියවර ගන්න පුළුවන්. මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒක තමයි අනිද්දා කතුවරයා අවධාරණයෙන් පෙන්වා දුන්නේ ය.

මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ රජයේ බලාධිකාරිය සීමා කිරීමට මහජන දායකත්වයෙන් නිර්මාණය කර ගත් ආයතනවලට බලය සීමා කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවයි. ඊට උදාහරණ වශයෙන් අතුරුදන් වූවන්ගේ ලේකම් කාර්යාලය සහ හානි පූර්ණ ලේකම් කාර්යාලය ගෙනහැර දැක්වීය. එම ආයතනවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මානව හා මූල්‍ය සම්පත් ලබාදීම සීමා කිරීම හා / හෝ ප්‍රමාද කිරීම හරහා මෙය පහසුවෙන් ඉටුකර ගත හැකි බව ද අනිද්දා කතුවරයා සඳහන් කළේය.

තොරතුරු කොමිෂමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරමින් ජනරංජන පෙන්වා දුන්නේ තොරතුරු කොමිෂම වර්තමානය වන විට බරපතළ මානව සම්පත් අර්බුදයකට ලක්ව සිටින බවයි.

ඒකට අනුයුක්ත කරලා හිටිය නිලධාරීන්ගෙන් දැන් ඉන්නේ හතර දෙනයි. ඔවුන් පවා කොයි මොහොතේ ඉවත් වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයකයි ඉන්නේ ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

පුරවැසි ආණ්ඩුකරණයේ අර්බුදය

මෙහිදී ලසන්ත ද සිල්වා ජනරංජනගෙන් විමසා සිටියේ, ජනතාවගේ මැදිහත් වීමෙන් ස්ථාපිත කරගත් පුරවැසි බලය ශක්තිමත් කරන ආයතන පද්ධති මේ ආකාරයෙන් දුර්වල කිරීම පුරවැසි ආණ්ඩුකරණය නොතකා හැරීමක් විය නො හැකිද බවයි.

ඊට පිළිතුරු වශයෙන් අනිද්දා කතුවරයා පවසා සිටියේ ඔව් එවැනි දෙයක් වෙනවා  යනුවෙනි. මේ සම්බන්ධ සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ අනිද්දා කතුවරයා මෙසේ ද සඳහන් කළේය හැම ආණ්ඩුවක්ම බලයට පත්වීමට පෙර ඉන්නේ විපක්ෂයෙනේ. උදාහරණයක් ලෙස 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ වර්තමානයේ බලයේ ඉන්න ආණ්ඩු පක්ෂයේ එක අංගයක් විදිහට. ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාවට. ඒ ගොල්ලො තමයි ඒ අවස්ථාවේ දේශපාලන ප්‍රවණතා අනුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හරහා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමයි විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන පුරවැසි බලයේ සීමාව  පුළුල් කරමින් යන පුරවැසි බලයක් නිර්මාණය වුණේ. තොරතුරු කොමිෂන් සභාවත් මේ ගමනේ ප්‍රතිඵලයක් තමයි. නමුත් විපක්ෂයේ සිටියදී මේ සියලු ආකාරයේ ධනාත්මක පනත් ගේන්න දායක වුණ අය රාජ්‍ය බලය දිනාගත් විට කල්පනා කරනවා මේ අපේ බලයට එදිරිව යන දේවල් කියලා. මේ දේවල් වලින් අපිට හිතලා – මතලා කරන්න පුළුවන් දේවල් සීමා වෙනවා කියලා. ඔන්න ඔය ගැටුම තමයි මෙතැන තියෙන්නේ. මේක පුරවැසියන්ගේ අභියෝගයක් ලෙස සැලකිය යුතුයි. පක්ෂ දේශපාලනය පසකට දාලා මේ ප්‍රශ්නය නිවැරදිව වටහා ගෙන කටයුතු කළේ නැති නම් මේ තත්ත්වය තවත් නරක් වෙනවා මිස හොඳ අතට ගමන් කරන්නේ නැහැජනරංජන වත්මන් තත්ත්වය හමුවේ පුරවැසි වගකීම පෙන්වා දෙමින් අවධාරණය කළේය.

| මන්දපෝෂිත තොරතුරු කොමිෂම කාගේ අවශ්‍යතාවක්ද? – නාලක ගුණවර්ධන

තොරුතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලීමේ පුරවැසි උනන්දුවේ හීනවීමක් සිදුව තිබේද නැද්ද ? යන්න සොයා බැලීමට යම් කාලයක් හෝ දත්ත අවශ්‍ය වුව ද එම උනන්දුවේ යම් ආකාරයක දුර්වල වීමක් හෝ අවදානමක් ද තිබේ. තොරතුරු කොමිසම යනු පුරවැසියන් ඉල්ලුම් කරන තොරතුරු ලබා නොදෙන විට ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා ස්ථාපිත කළ ආයතනයයි.

පොදු අධිකාරියක් ලෙස තොරතුරු පනතේ හඳුනා ගන්නා ආයතනයක තොරතුරු පුරවැසියන් විසින් ඉල්ලා සිටින අවස්ථාවක එවැනි තොරතුරු නො ලැබුණොත් පළමු අභියාචනය යොමු කරන්නේ අදාළ ආයතනයේ නම් කළ නිලධාරියාට. ඔහුගෙන් අවශ්‍ය තොරතුරු නො ලැබෙන්නේ නම් තොරතුරු කොමිෂමට අභියාචනයක් යොමු කළ හැකියි. එවැනි අභියාචනා තමයි තොරතුරු කොමිෂම විසින් විමර්ෂණය කරලා, දෙපාර්ශ්වයේම කරුණු සලකා බලලා අදාළ නියෝග නිකුත් කරන්නේ. අපි පසුගිය කාලයේ බොහෝ අවස්ථාවල තොරතුරු කොමිෂම සාධනීය ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ අදාළ පොදු අධිකාරි විසින් ලබාදීම ප්‍රතිකෂේප කළ තොරතුරු ලබා දෙන මෙන් නියෝග කළ අවස්ථා දැක්කා. එම නියෝගය ලද පොදු අධිකාරීන් සැලකිය යුතු සංඛ්‍යාවක් අදාළ නියෝගයට අවනත වුණා. ඇතැම් ආයතන එම නියෝගවලට අවනත නොවී කට්ටි පනිමින් සිටිනවා. එහෙම නැතිනම් ඔවුන් තොරතුරු කොමිෂමේ තීන්දුවට එරෙහිව අභියාචනා කරමින් අභියෝග කළ අවස්ථාත් තිබෙනවා. මේ දෙකම සිදුව තිබෙනවා. නාලක ගුණවර්ධන තොරතුරු කොමිෂමේ කාර්යභාරය සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පැහැදිලි කළේය.

තීරණාත්මක කාර්යභාරය

තොරතුරු කොමිසමේ තීරණාත්මක කාර්යභාරය වන්නේ තොරතුරු ලබා නොදෙමින් කට්ටි පනින හෝ යම් යම් හේතු දක්වමින් තොරතුරු ලබා නොදෙන හෝ කිසිසේත්ම තොරතුරු ලබා නොදෙමින් ඊට අභියෝග කරන පනතට අදාළ පොදු අධිකාරි ආයතන පනතට අනුකූල කරවීම බව නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

2017 දී පනත ක්‍රියාත්මක වීම ආරම්භ කළ පසු ශ්‍රී ලන්කන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන තමන් මෙම පනත යටතට නොවැටෙන බවට ස්වයං තීන්දු ගත් බව මෙහිදී නාලක සිහිපත් කළේය.

මේ වාගේ බලගතු මුදල් තිබෙන බලවත් පොදු අධිකාරි තොරතුරු පනත යටතට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කිරීම තමයි තොරතුරු කොමිසමේ කාර්යභාරයක් වන්නේ යැයි කී නාලක වැඩි දුරටත් පෙන්වා දුන්නේ තොරතුරු කොමිසම දුර්වල වීම යනු ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීමක් බවත් පුරවැසියන් ලෙස සියලු දෙනාට (අප කාටත්) ඒ ගැන කැක්කුමක් තිබිය යුතු බවත්ය.

මන්දපෝෂිත කොමිෂන්

මම කියන්නේ කොමිසමට නිසි පරිදි ප්‍රතිපාදන නො සැපයීම, කොමිසමේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාළ ප්‍රතිපාදන, අනුමැතිය හා පහසුකම් නිසි කලට හා නිසි පරිදි නොලැබීම ආදි කාරණයන් හේතුවෙන් කොමිසම මන්දපෝෂිත කොමිෂමක්  බවට පත් වෙමින් තිබෙනවා. මේක තොරතුරු කොමිසමට පමණක් නොවෙයි. තවත් බොහෝ කොමිසම්වලට සිදුවෙමින් තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ මේක හිතාමතා කරන දෙයක් ද? මේ මන්දපෝෂිත තත්ත්වයට පත්කරලා මේ ආයතන පරිධියට තල්ලු කිරීමක් ද? එසේත් නොමැති නම් මෙය පරිපාලනමය අකාර්යක්ෂමතාව, නොසැලකියල්ල ආදිය නිසා සිදුවන දෙයක් ද? කියන එකයි. අන්න ඒක තමයි අපිට හරියට තේරුම් ගන්නට බැරි නාලක ගුණවර්දන සිය අදහස තව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේය.

මෙහිදී නාලක කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවිධාකාරයෙන් තර්ක – විතර්ක ඉදිරිපත් කළ හැකි බවයි.

යම් කෙනෙකුට තර්ක කළ හැකියි පාරදෘශ්‍යභාවය, විනිවිධභාවය, නිසි ආණ්ඩුකරණය වගේ හරයන් සඳහා සාරධර්ම සඳහා පෙනී සිටින  රජයක් යටතෙත් ඇයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ? කියලා. මේක සිද්ධ වෙන්නේ නො සැලකිල්ලෙන් වෙන්න බැහැ මේ ආයතන මන්දපෝෂිත තත්ත්වයට පත් කිරීම නොසැලකිල්ල නිසා සිදුවන දෙයක් වෙන්න බැහැ නාලක අවධාරණය කළේය.

සම තත්ත්වයක් නෑ

මෙහිදී තොරතුරු කොමිෂමට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු කාරණා විග්‍රහ කළ නාලක පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසම මානව හිමිකම් කොමිසම ආදි කොමිෂන් සභාවලට අදාළ සම තත්ත්වයක් තොරතුරු කොමිෂමට ලැබී නොමැති බවත් තොරතුරු කොමිසම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනමය හා මූල්‍ය ප්‍රතිපාදන මත රඳා පවතින  බවත්ය.

මෙතන ළබැඳියාවන් අතර ගැටුමක් ද නිර්මාණය විය හැකි බව මම දකිනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයත් තොරතුරු පනතට යටත් යම්කිසි ආකාරයකින් පුරවැසියෙක් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලුම් කරලා එය නොලැබුණොත් අභියාචනා කළ යුතු තැන තමයි තොරතුරු කොමිසම. මෙවැනි තත්ත්වයක් තුළ තමන්ට එරෙහිව නියෝග ළබැඳිය හැකි තොරතුරු කොමිසම තමන් යටතේම පවතින ආයතනයක් වීම ආතතියකට හෝ ළබැඳියාවන් අතර ගැටුමකට මුල පුරන්න පුළුවන් නාලක තොරතුරු කොමිසම ආරම්භයේදීම මුහුණ දුන් තවත් අභියෝගයක් හෙළි කරමින් පෙන්වා දුන්නේය.

මේක මෙහෙම ම වෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. නාලක වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී නාලක පෙන්වා දුන්නේ මෙවැනි කරුණු ද ඉදිරියේ දී පනත් සංශෝධනයේදී අවධානයට ලක්විය යුතු බවයි.

අඩුම තරමේ මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වාගේ ඍජුවම වැය ශීර්ෂයක් තොරතුරු කොමිසමටත් ලැබිය යුතුයි. මොකද ඒක ස්වාධීන වීමේ තුන්වැනි පියවර ලෙස සැලකිය හැකියි. කොමසාරිස්වරු පත් කිරීම, ඉවත් කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් කරන නමුත් මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද ඒ ස්වාධීනත්වය තොරතුරු කොමිසමට ලැබිය යුතුයි. ඒ හරහා වර්තමානයේ පවතින දුර්වල තත්ත්වය, මන්දපෝෂිත තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. කොමිසමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත යුතු පියවර පැහැදිලි කරමින් නාලක අවධාරණය කළේය.

අභියෝග මැද කළ වැඩ

US AID ආධාර අහිමි වීම සමඟ තොරතුරු කොමිසම යම් දුෂ්කරතාවකට මුහුණ දෙන බව පැහැදිලි කළ නාලක, සභාපතිවරයා සහ කොමසාරිස්වරයෙකුගේ සහ කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු හිඟයක් පවතිද්දී ද තොරතුරු කොමිසම ඉටුකරන කාර්යභාරය පැසසිය යුතු බව ද සඳහන් කළේය.

මේ වන විට පවතින අභියෝග මැද මෙහෙම හරි කරගෙන යන එක ගැන පුරවැසියන් මෙන්ම සිවිල් සංවිධාන ද සතුටු විය යුතුයි. නාලක අවධාරණය කළේය.

මෙහිදී නාලක තම අදහස් දැක්වීම් සාරාංශ කරමින් මෙසේ ද සඳහන් කළේය. අපේ සමාජය තොරතුරු පනත හරියට ක්‍රියාත්මක වන සමාජයක් නම්, ඇත්තටම තොරතුරු කොමිසමට වැඩ අඩුයි. මොකද පනතට අනුව පොදු අධිකාරී ආයතන පුරවැසියන් තොරතුරු ඉල්ලන පමාවෙන් අදාළ තොරතුරු ලබා දෙනවා නම් එවැනි සමාජයක තොරතුරු නොදුන් බවට අභියාචනා ඉදිරිපත් වෙන්නේ ඉතාම අඩුවෙන් ඊටත් එහා ගිහින් පොදු අධිකාරීන් ප්‍රගාමීව ඉල්ලන්නත් කලින් තොරතුරු හෙළිදරව් කරනවා. මෙවැනි තත්ත්වයක් ප්‍රගුණ කරනවා නම් තොරතුරු ඉල්ලන ප්‍රමාණයත් අඩුකර ගන්න පුළුවන්. නමුත් අපි මෙවැනි තත්ත්වයකට ගිහින් නැහැ. ඒ නිසා තමයි අපට මේ කොමිසමක් අවශ්‍ය වන්නේ සහ කොමිසම සවිමත්ව ප්‍රබලව සහ සක්‍රීයව ක්‍රියාත්මක වීම අවශ්‍ය වන්නේ නාලක ගුණවර්ධන කොමිසම ගත යුතු මග පැහැදිලි කරමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සමග නොගැළපීම

තොරුතුරු කොමිසම මේ ආකාරයෙන් අකර්මන්‍ය කිරීම හෝ නොසලකා හැරීම වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට න්‍යාය පත්‍රයට බාධාවක් විය හැකි අතර ආණ්ඩුව මෙවැනි පියවරක් ගන්නා වූ පදනම කුමක් දැයි ලසන්ත මෙහිදී නාලකගෙන් ප්‍රශ්න කළේය.

ලසන්තගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නාලක සඳහන් කළේ, මේක හිතාමතා කරනවාද? නැතිනම් නොදැනුවත්කම, නොදන්නාකම නිසා කරනවාද කියලා මට හිතා ගන්න බැහැ. නමුත් අල්ලස් හෝ දූෂණ මර්දනය වෙනුවෙන් ආණ්ඩුව යළි ප්‍රබෝධයකින් කටයුතු කරන බවක් පේනවා. නමුත් තොරතුරු දැන ගැනීම කියන්නේ අල්ලස් හෝ දූෂණය වෙන්න කලින් මේවා හැකිතාක් අඩුකරන්න, වළක්වා ගන්න උදව් කළ හැකි මෙවලමක්. තොරතුරු පනත නිසි ලෙස ක්‍රියාත්මක වුණේ  යම්කිසි ආකාරයක වංචාවක්, දූෂණයක් කරන්න කලින් රාජ්‍ය නිලධාරීන් වරක් දෙවරක් නොවෙයි තෙවරක්, සිවුවරක් හිතනවා. ඒ වගේම වංචා කළත් ඒවා සොයා ගන්නට, හසුකර ගන්නට ඒ තොරතුරු හරහා පොටක් පෑදෙනවා. දූෂණ  හෝ අල්ලස් සම්බන්ධ විමර්ශන වේගයෙන් හා ශක්තිමත් ලෙස සිදුවීම පක්ෂ – පාට භේදයකින් තොරව අගය කළ යුතුයි.  නමුත් මේකේ තිබෙනවා වළක්වා ගැනීමේ හා පුරවැසියාගේ කාර්යභාරය සවිමත් කිරීම කියන කොටසකුත්. ඒ කොටසට තොරතුරු අයිතියත් තොරතුරු අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමත් සැලකිය යුතු ලෙස දායක වෙනවා. අන්න ඒ පරස්පරය, නැතිනම් නොගැලපිල්ල අපි දකිනවා. මේක සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරයත් පෙන්වා දී තිබුණා.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් “කතිකාව“ වැඩසටහන මගින් පැවැත්වූ සාකච්ඡාව පදනම් කරගනිමින් තුෂාල් විතානගේ විසින් සකස් කරන ලද ලිපියකි)

Leave A Comment