
1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ
- Sujeewa Senerath
- July 21, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- weekly political analyzes
- 0 Comments
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ වාර්ගික ප්රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස, ඒ සිදු වීම් නියෝජනය කලේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන මෙහෙයවීම්, පද්ධතිය හා සම්බන්ධව වෙනස්කම්වලට ලක් කිරීම සහ හිතාමතා සිදු කල ම්ලේච්ඡත්වය කූට ප්‍රාප්තියට පත්වීම යි. සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ, ප්රචණ්ඩත්වය සංවිධානය කිරීමේ දී පාලක පක්ෂයේ නිලතල දැරූ අයගේ සෘජු සහභාගිත්වය යි; ඒ අනුව, එය වාර්ගික කෝපයේ හදිසි පිපිරී යෑමක් නොව, රාජ්‍ය අනුග්‍රහය ලැබූ සංහාරයකි.
1958, 1968, 1977 සහ 1981 දී කැපී පෙනුණු කැරලි කෝලාහල වලින් සමන්විත ව, දෙමළ විරෝධී ප්රචණ්ඩත්වය නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ යලි යලිත් සිදු වන අංගයක් ව තිබිණි. ප්රචණ්ඩත්වයේ සෑම වටයක් ම රාජ්‍ය යන්ත්‍රණය තුළ සිටි දැඩි මතධාරී සිංහල කොටස් දිරිමත් කර ලූ අතර, දෙමළ ජනයා කොන් කර දැමීම තව දුරටත් ශක්තිමත් කළේය.
යටත් විජිත උරුමය
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන නිර්මිතයන් මූලික වශයෙන් වෙනස් කළේය. පරිපාලනය මධ්‍යගත කිරීමෙන්, ඉංග්‍රීසිය පරිපාලනයේ, අධ්‍යාපනයේ සහ නීතියේ භාෂාව වශයෙන් යොදා ගනිමින් බ්‍රිතාන්‍යයෝ වාර්ගික අප්‍රසාදයේ බීජ වපුරා ලූහ. සිංහල ජනයා අතර අනිසි ආකාරයේ අනුග්‍රහ දැක්වීම් පිළිබඳ හැඟීම් අවුළුවා ලමින්, විශේෂයෙන් යාපනයෙන් පැමිණි දෙමළ ජනයා යටත් විජිත පාලනය යටතේ, සිවිල් සේවා තනතුරුවල ආධිපත්‍යය දරන්නට පටන් ගත්හ.
යටත් විජිත ආර්ථික ප්‍රතිපත්ති, අපනයන වෙත නැඹුරු වුන, විශේෂයෙන් කෝපි සහ පසුව තේ මත පදනම් වූ කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු වුන වතු වැවිලි පදනම් කර ගත් ක්‍රමයක් හඳුන්වා දීම මගින් දිවයිනේ ආර්ථිකය පුදුමාකාර වෙනසකට භාජනය විය. බෙදා වෙන් කිරීම් හොඳින් තහවුරු කල දැඩි නීතිමය-පරිපාලන පද්ධති ක්රියාවේ යෙදවීම, වේගයෙන් වර්ධනය වන වතු වගාවන්ට සහාය වන්නට දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ විශේෂ ඉඩම් ප්‍රතිපත්ති මෙම වෙනස් වීමත් සමග සම්බන්ධ වූයේය. දේශපාලන නොසන්සුන්කම් වෙත මඟ පාදමින් මේ යටත් විජිත නිර්මිත, නිදහසින් පසු දිවයිනේ වාර්ගික සංකූලතා ආමන්ත්‍රණය කරන්නට තරම් ප්‍රමාණවත් ලෙස සූදානම් ව නොසිටි ඒකීය රාජ්‍යයක් විසින් උරුම කර ගන්නා ලදි.
නිදහසින් පසු වෙනස්කම්වලට ලක් කිරීම
නිදහසින් පසු, සිංහල ජාතිකවාදී ප්‍රතිපත්ති විසින් බෙදා වෙන් කිරීම් තවදුරටත් තහවුරු කරන ලදි. 1948 දී, අලුතෙන් පිහිටුවන ලද ආණ්ඩුව තේ වතුකරයේ වැඩ කළ කඳුකර දෙමළ ජනයා ලෙසින් ද හැඳින්වෙන, මලයියහ දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය ක්‍රියාත්මක ලෙස අහිමි කර දැමූ ලංකා පුරවැසි පනත නීතිගත කළේය. ඔවුන් රටක් නොමැති අය බවට පත් කරමින් මෙම පනත, ඔවුන්ගේ පුරවැසි හිමිකම් සහ ඡන්ද අයිතිය ද අහිමි කර දැමීය.
1956 “සිංහල පමණයි” පනත දෙමළ කතා කරන ජනයාගේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා බොහෝ සේ අඩු කර ලමින් ඔවුන් කොන් කර දැමීය. 1972 දී, ආගමික සුළුතරයන් දුරස් කර දමමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බුද්ධාගමට වරප්‍රසාද ලත් තත්වයක් පිරිනැමුවේ ය. දෙමළ ජාතිකයින්ට උසස් අධ්‍යාපනය සඳහා තිබුණ ප්‍රවේශය විශ්ව විද්‍යාල කෝටාවන් පැනවීම මඟින් සීමා කළ අතර, රජය මෙහෙයවූ ජනපද යෝජනා ක්‍රම, ඉඩම් බෙදා දීමේ දී දෙමළ ජනයා අවාසි සහගත තත්වයට පත් කර ලීය.
අනුප්‍රාප්තික සිංහල බහුතර ආණ්ඩු විසින් වැඩි ස්වාධිකාරයක් ලබා ගැනීම ගැන සාකච්ඡා කිරීමට දෙමළ දේශපාලන ව්‍යාපාර නැවත නැවතත් දැරූ උත්සාහයන් අවුරා දමන ලදි. දෙමළ ජනයා අතර දේශපාලන කලකිරීම් ජනිත කල වෙනස්කම්වලට ලක් කිරීමේ මෙම ප්‍රතිපත්ති, සටන්කාමී බෙදුම්වාදයේ ඉහළ නැඟීමට දායක විය.
රාජ්‍ය මර්දනය ඉහළ යෑම
1970 දශකය අවසානය වන විට, ආණ්ඩුව දෙමළ විරෝධයට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රතිසංස්කරණ කිරීමෙන් නොව, දැඩි ලෙස හමුදාකරණය කිරීමෙනි. ආරක්ෂක හමුදාවලට පුළුල් බලතල සහ මුළුමනින් ම පාහේ දඬුවම් නොලබා සිටීමේ නිදහස ලබා දුන් කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි නීති රෙගුලාසි මගින් රාජ්‍ය මර්දනය ආයතන ගත කරන ලදී. භීතිය සහ සතුරු බවෙන් යුක්ත වාතාවරණයක් බිහි කරමින් දෙමළ ප්‍රදේශවල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණ වීම් සහ නීති විරෝධී ඝාතන පොදු බවට පත් විය.
මේ අතර, 1981 යාපනය පුස්තකාල ගිනි තැබීම මෙහෙයවීම හා සම්බන්ධ වුන මන්ත්‍රීවරුන් ඇතුළු දෙමළ විරෝධී ප්රචණ්ඩත්වයේ යෙදුණු අපරාධකරුවන්ට එරෙහිව අභිචෝදනා ගෙන එන්නට ආණ්ඩුව අපොහොසත් වීම, දඬුවම් නොලැබ සිටීමේ සංස්කෘතියක් තහවුරු කර ලීය.
1983 ජූලියට මඟ පෑ සිදුවීම්
රාජ්‍ය මර්දනයට ප්‍රතිචාර වශයෙන් දෙමළ සටන්කාමීන් විසින් රජයේ හමුදාවන්ට එල්ල කරන ලද ප්‍රහාර 1980 දශකයේ මුල් භාගයේ දී වැඩි වූයේය. 1983 ජූලි 23 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE ය) යාපනයේ හමුදා මුර සංචාරයකට සැඟවී සිට පහර දුන් අතර එයින් සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනයට ලක් වූයේය. සිංහල ජනයා අතර ද්වේෂය එක් රැස් කරන්නට මෙන්ම මාධ්‍ය වාරණයක් පැනවීමට හා මාධ්‍යවේදීන්ගේ ගමන් බිමන් සීමා කිරීමට ආණ්ඩුව මෙම සිදුවීම යොදා ගත්තේය.
ඉන් පසු ඇති වූයේ අහම්බෙන් ඇති වුන කැරලි කෝලාහල නොව ක්රමානුකූල ව කල සංහාරයකි. පාලක පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහාය ඇතිව සන්නද්ධ කල්ලි, කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල දෙමළ ජනයාගේ නිවාස සහ වෙළඳ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා ඡන්දදායක ලැයිස්තු භාවිතා කළහ. ආරක්ෂක හමුදා කිසිවක් නොකර රැඳී සිටියහ; නැතහොත් ප්‍රහාරවලට ක්‍රියාකාරී ලෙස සහභාගී වූහ. දින කිහිපයක් තිස්සේ, දෙමළ සිවිල් වැසියන්ගේ දේපළ කොල්ල කා විනාශ කර දමන ලද අතර, ඔවුන් ලුහුබැඳ ගොස්, දූෂණය කොට, පණ පිටින් පුළුස්සා, සමූලඝාතනය කරන ලදි. ආරක්ෂිත යැයි සිතා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ පවා දෙමළ දේශපාලන සිරකරුවන් මරා දමන ලදී.
රාජ්‍ය අනුග්‍රහය ලත් ම්ලේච්ඡත්වය රජයන වකවානුවක මනුෂ්‍යත්වයේ දුර්ලභ එහෙත් කැපී පෙනෙන ආකාරයේ ආලෝකයක් දල්වා ලමින්, මෙම භීෂණය මැද්දේ බොහෝ සිංහල ජනයා නිර්භීතව තම දෙමළ අසල්වැසියන්ට රැකවරණය ලබා දුන්හ.
නීතිගත කරන ලද මර්දනය සහ පසු විපාක
අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරනවා වෙනුවට, ආණ්ඩුව, කැරලි කෝලාහල කඩතුරාවක් කර ගෙන ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තහනම් කළේය. මෙම තත්වය 1988-89 කාලයේ දකුණේ හට ගත් ව්‍යසනයට මග පෑදීය.
එපමණක් නොව, දෙමළ ස්වාධිකාරයක් සඳහා සාමකාමී ව පෙනී සිටීම පවා අපරාධයක් බවට පත් කරමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හය වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නේය. දෙමළ දේශපාලනඥයින්ට පාර්ලිමේන්තුවට පිවිසීම තහනම් කරන ලද අතර, පූර්ණ මර්දනකාරී වාතාවරණයක් බලාත්මක කරවන ලදී. 1983 සිදුවීම් විදේශ රටවල දෙමළ ඩයස්පෝරාව ප්‍රබල තත්වයට පත් කොට, මහා පරිමාණ දෙමළ සංක්‍රමණයකට මං පෑදීය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) සහ ජාත්‍යන්තර ජූරි කොමිසම (ICJ) ද ඇතුළුව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ඉල්ලීම් නොතකා, සංහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කර ඇත.
රජය අවුළුවන ලද සිවිල් යුද්ධයක්
රට වසර 26 ක කුරිරු සිවිල් යුද්ධයකට තල්ලු කර දමමින්, ජූලි සංහාරය දිවයිනේ සමාජ නිර්මාණය ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කර දැම්මේය. නීත්‍යානුකූල දෙමළ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කරනවා වෙනුවට, සිවිල් නිදහස සහ ප්රජාතන්ත්රවාදී ආයතන තවදුරටත් ඛාදනය කරමින් රජය හමුදා මර්දනය තවත් උත්සන්න කළේය. වෙනස්කම් වලට ලක් කිරීමේ ආකල්ප තව දුරටත් පැසවමින් පවතින අතර, බෙලහීන අන්දමින් ක්‍රියාත්මක කිරීම් සහ අඩමානයෙන් කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් සංහිඳියාව සඳහා දරන ප්රයත්න අඩපණ කර දමා ඇත.
වග වීම හෝ යුක්තිය සහතික කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ව්‍යාකුල කල, ජන ප්‍රජාවන් අතර පවතින ගැඹුරු අවිශ්වාසය, 1983 ජූලියේ නොකඩවා පවතින උරුමය ව ඇත්තේය.
සංහිඳියාව ඇති කිරීමේ අභියෝගය
සංහාරයෙන් දශක ගණනාවකට පසුව පවා, ශ්‍රී ලංකාවේ පාලන තන්ත්රය අඛණ්ඩව නිර්වචනය කර ඇත්තේ බහුතර වාදය, හමුදා කරණය සහ දඬුවම් ලබා නොදීම විසිනි. පළාත් බද ස්වාධිකාරය පොරොන්දු වන 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැනි මූලික වගකීම පවා ඉටු නොකර පවතී. දේශපාලන බලය බෙදා ගැනීම නිතිපතා විරෝධයට පාත්‍ර වන අතර, දෙමළ බහුතර ප්‍රදේශවල හමුදාව බහුල ලෙස රඳවා සිටියි.
තිරසාර සාමයක සඳහා අතීතය පිළිබඳ ව අවංක අගය කිරීමක් අවශ්‍ය වේ. ඕනෑම විශ්වාස කටයුතු සංහිඳියා ක්‍රියාවලියකට හමුදාහරණය, යුද අපරාධ සහ වාර්ගික ප්රචණ්ඩත්වය සඳහා වග වීම සහ අව්‍යාජ දේශපාලන බලය බෙදා ගැනීම අඩංගු විය යුතුය. සියලු ප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් සහ රැකවරණ ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ බහුවිධතාවය පිළිබිඹු කළ යුතුය.
ඒ හා සමානව වැදගත් වන්නේ, බිම් මට්ටමේ සංවාදය, සංස්කෘතික හුවමාරු කිරීම් සහ ප්‍රචණ්ඩත්වයට ලක් වූවන් වෙනුවෙන් මනෝ සමාජයීය සහයෝගය දැක්වීම මගින් අන්තර් වාර්ගික විශ්වාසය යළි ගොඩනැගීම සඳහා කැපවීමකි. සැකයෙන් යුක්ත ව සෝදිසියට හෝ මර්දනයට ලක් බීමේ බියෙන් තොරව සාමය වෙනුවෙන් පෙනී සිටීමට සිවිල් සමාජය වෙත ඉඩකඩ ලබා දිය යුතුය.
නිගමනය
1983 ජූලි සංහාරය ඉතිහාසයේ අහම්බෙන් සිදු වුන අවාසනාවන්ත සිද්ධියක් නොවේ – එය ශ්‍රී ලංකාව යුද්ධයකට ඇද දැමීම වේගවත් කරන ලද හිතාමතා සැලසුම් කල රාජ්‍ය ප්රචණ්ඩත්වයේ ප්රකාශනයකි. ඉන් උකහා ගත හැකි පාඩම් අදට ද වේදනාකාරී ලෙස අදාළ වේ. සාමය බලා පොරොත්තු වන රජයකට නොකඩවා මර්දනය සාධාරණීකරණය කිරීමට, සුළුතර අයිතිවාසිකම් නොසලකා හැරීමට හෝ ඓතිහාසික අසාධාරණයන් පවත්වා ගෙන යෑමට නොහැකිය.
ශ්‍රී ලංකාවට එහි ප්රචණ්ඩත්වයේ චක්‍රවලින් ගැලවීමට නම්, ශ්‍රී ලංකාව දඬුවම් ලබා නොදීම වෙනුවට වග වීම, බහුතර වාදය වෙනුවට බහුවිධතාවය සහ පළි ගැනීම වෙනුවට සංහිඳියාව තෝරා ගත යුතුය. 1983 ජූලියේ පීඩාවන් සුව කිරීම ආරම්භ කළ හැක්කේ එසේ කළ විට පමණකි.

2025 ජූලි 20 වන දා