
TISL ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි
- Sujeewa Senerath
- July 23, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
අඟහරුවාදා, 2025 ජූලි 22 වන දින, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් 2025 ජූනි 23 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.
මෙම පනත් කෙටුම්පත මඟින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම පෙත්සම මහජන සුබසිද්ධිය මත පදනම්ව ගොනු කරන ලද්දකි.
ජාතික විගණන පනත යනු රාජ්ය සේවය තුළ මූල්ය වගවීම තහවුරු කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට ඇති ප්රධාන නෛතික මෙවලම්වලින් එකකි. එය විගණකාධිපතිවරයාට පොදු ආයතන විගණනය කිරීම සහ මහජන මුදල් අවභාවිතය හෝ අයථා කළමනාකරණය සම්බන්ධයෙන් නිලධාරීන් වගවීමට ලක් කිරීමේ අධිකාරී බලය ලබා දෙයි. මෙය විශේෂයෙන්ම අධිභාර දඬුවම් පැනවීම සඳහා වන එහි විධිවිධාන මඟින් සිදු කෙරේ. අධිභාරය සැලසුම් කර ඇත්තේ වංචාව, නොසැලකිල්ල සාවද්ය පරිහරණය, හෝ දූෂණය හේතුවෙන් රාජ්යයට සිදු වන පාඩු හෝ ඌනතා නැතහොත්, මහජන සම්පත්වල අයථා කළමනාකරණය සම්බන්ධයෙන් මහජන නිලධාරීන් වගවීමට ලක් කිරීම සඳහාය. යෝජිත සංශෝධනයේ, මෙම නීති රාමුව දුර්වල කරන සහ රාජ්ය විගණන ක්රියාවලියේ ස්වාධීනත්වයට, අධිකාරියට සහ කාර්යක්ෂමතාවයට හානි වීමේ අවදානමක් ඇති කෙරෙන විධිවිධාන කිහිපයක් ඇතුලත් ය.
පනත් කෙටුම්පතේ වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණක් නම්, ප්රධාන පනතේ 19 සහ 23 වගන්ති යටතේ අධිභාරය සඳහා පදනමක් ලෙස “නොසැලකිල්ල” යන වරද ඉවත් කිරීමට යෝජනා කිරීමයි. මෙය රාජ්ය නිලධාරීන්ගේ රාජකාරී වගකීම් මට්ටම පහත හෙලන අතර, හුදු නොසැලකිල්ල හෝ රාජකාරී වගකීම් ඉටුකිරීමේ නොසැලකිලිමත් අනවධානය හේතුවෙන් රජයට පාඩු සිදුකිරීම යන වගකීමෙන් ආරක්ෂා වීමට ඉඩ සලසයි. මෙය මහජන විශ්වාසය පිළිබඳ මූලධර්මයට පටහැනි වන අතර මහජන මුදල් අයථා කළමනාකරණයට එරෙහිව පුරවැසියන් සඳහා වන ආණ්ඩුක්රම ව්යවස්ථාමය ආරක්ෂාව දුර්වල කරයි.
විගණකාධිපතිවරයා විසින් පනවන ලද අධිභාරය පිළිබඳ නිර්දේශයන් මත තීරණ ගැනීමට “අධිභාර සමාලෝචන කමිටුවක්” පනත් කෙටුම්පත මඟින් හඳුන්වා දෙනු ලැබේ. අධිභාරය පැනවීම සහ අයකරගත යුතු මුදල් පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මෙම “අධිභාර සමාලෝචන කමිටුව” වෙත පැවරේ. තීරණ ගැනීමේ ක්රියාවලීන්හි විවෘතභාවය, සාධාරණත්වය සහ වගවීම පිළිබඳ ගැටළු මතු කරන අතර, එම කමිටුව විසින් ගන්නා තීරණ වගවීමට ලක් කිරීම සඳහා නිසි යාන්ත්රණයක් ඇති නොකිරීම ගැටලුකාරී බව මෙම පෙත්සම මතු කරයි.
විගණන සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කිරීමේ යාන්ත්රණයට පටහැනිව කටයුතු කිරීමට දඬුවමක් සහ ඒ සඳහා පැහැදිලි කාලසීමාවන් නොමැතිවීම ගැටලුසහගත බව TISL පෙත්සම අවධාරණය කරයි. යෝජිත සංශෝධන මඟින් විගණකාධිපතිවරයා යම් ගනුදෙනුවක වංචාවක්, දූෂණයක් හෝ සාවධ්ය පරිහරණයක් සිදු වී ඇති බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ නම්, විගණනයට ලක්වන ආයතනයේ ප්රධාන ගණන් දීමේ නිලධාරියා
හෝ ප්රධාන ගණන් දීමේ නිලධාරියාට එරෙහිව එවැනි චෝදනාවක් තිබේ නම්, කැබිනට් ලේකම්වරයාට “වහාම” නීතිය ක්රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙස දැනුම් දීමට ඉඩ සලසයි. කෙසේ වෙතත්, නියමිත කාලසීමාවන් හෝ එවැනි දැනුම් දීමකට අනුගත නොවීම සඳහා දඬුවම් නොමැතිවීම මෙම ක්රියාවලිය අත්තනෝමතික ප්රමාදයන්ට, අක්රියතාවන්ට හෝ දේශපාලන බලපෑම්වලට විවෘත කරයි – එමඟින් බලාත්මක කිරීම බරපතල ලෙස දුර්වල වේ.
රාජ්ය විගණනය සම්බන්ද නීතිරාමු ශක්තිමත් කිරීම සහ නිසි ලෙස බලාත්මක කිරීම් සඳහා අවශ්යය ප්රතිසංස්කරණ සඳහා ශ්රී ලංකාවේ රාජ්යකරණ ක්රියාකාරී සැලැස්ම, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම, සහ 2023 ජාත්යන්තර මූල්ය අරමුදලෙහි රාජ්යකරණය පිළිබඳ ඇගයිම මගින් නිර්දේශ කෙරේ. කෙසේ වෙතත්, පනත් කෙටුම්පතේ යෝජිත සංශෝධන මෙම ජාතික හා ජාත්යන්තර කැපවීම්වලට පටහැනි වේ. ආයතනික අධීක්ෂණය ශක්තිමත් කරනවා වෙනුවට, එය වගවීම බාල කරන අතර විගණනය මත පදනම්ව කාලෝචිත නිසි නීතිමය ක්රියාමාර්ගගැනීම අභියෝගයට ලක් කරයි.
ශ්රී ලංකාව රාජ්ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ස්ථාපිත කිරීමට සහ දූෂණ විරෝධී ප්රතිසංස්කරණ පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කරන මොහොතක, විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය සහ බලාත්මක කිරීමේ බලතල අඩු නොකර ආරක්ෂා කිරීම අත්යවශ්ය වේ.
පනත් කෙටුම්පතේ අදාළ වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රධාන විධිවිධාන වන ජනතාවගේ පරමාධිපත්යය, නීතියේ සමාන ආරක්ෂාවට ඇති අයිතිය සහ රාජ්ය ප්රතිපත්ති මෙහෙයවීමේ මුලධර්ම සමඟ නොගැලපෙන හෝ උල්ලංඝනය කරන බවට වූ ශ්රේෂ්ඨාධිකරණ තීරණයක් ලබා දෙන ලෙස TISL ආයතනය පෙත්සම මගින් ඉල්ලා සිටියි.