රට විරුවන් රට ගොඩදායි

මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…

2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ මුළු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 4.43 ක් මෙරටට ලැබී තිබේ.

2025 වසරේ මුල් මාස 7ක කාලය තුළදී 173,189 දෙනකු රැකියා සඳහා විදේශ ගතවි ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයින් 106,229 හා කාන්තා ශ්‍රමිකයින් 66,960 දෙනෙකු අයත් වේ.

2025 වසර තුළදි ඇමරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු  ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. ගුණාත්මක තත්ත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදේශ ගතකිරීමට කාර්යාංශය පියවර රැසක් ගෙන ඇති බවත්, 2025 වර්ෂය තුළදී ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම ශ්‍රි ලංකා රජය, වෙනත් රටවල් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලට ශ්‍රි ලාංකිකයින් යොමු කරන බවත්, විදේශ රැකියා ලබාදීමේ කාර්යය සඳහා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන හා රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ගේ කැපවීම ඉතාමත් අගය කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags:

Leave A Comment