
පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්
- Sujeewa Senerath
- September 11, 2025
- දේශපාලන, පුවත්
- health ministry of sri lanka, sri lanka police
- 0 Comments
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.
රාජ්‍ය සේවකයින් අතරින් වැඩිම බෝනොවන රෝගවලට ලක්වීමේ ප්‍රතිශතයක් පොලිස් දේපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ පළමු වැඩසටහන අද (10) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්නට යෙදුණි.
සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමාව යටතේ පැවැති මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනය සඳහා කැලණිය, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාස වල පොලිස් ස්ථාන නියෝජනය කරමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් එක්ව සිටියහ.
මෙම ජංගම සායනය තුළින් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ද සිදු කෙරුණි.
මෙම ජංගම සායනයෙන් හඳුනා ගනු ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල, මීගමුව රෝහල ඇතුළු රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ජංගම සායනය පවත්වන්නට යෙදුණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නව වැඩපිළිවෙලක් යටතේ ආරම්භ කරන ලද “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ මෙය දෙවන වැඩසටහන බවත්, සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමා පාඨය යටතේ මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට ප්‍රශස්ත සෞඛ්‍ය සෙවාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවැසීය.
සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” වැඩසටහනේ එක් අංශයක් ලෙස “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන පෙන්වා දිය හැකි බව පැවසූ අමාත්‍යවරයා ඈත දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය ඉහළ නැංවිම සඳහා එම සායන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ ආරම්භය පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙලෙස ආරම්භ කළ බව ද පෙන්වා දෙන ලදි.
මෙම සායන ප්‍රථමව වැඩසටහන පොලිස් දෙපාර්තමේන්න්තු නිලධාරීන් වෙනුවෙන් ආරම්භ කිරීමට හේතු වූ කරුණු දෙකක් වන බවත්, ඒ අනුව මෙරට ලක්ෂ 16 කට ආසන්න රාජ්‍ය සේවකයින් අතරින් ඉතා ඉහළ කාර්යභාරයක් 84,000 ක් පමණ වන සේවක සංඛ්‍යාවකින් යුක්ත පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බැවින් ඔවුන් නිරෝගීව තබා ගැනීමත්, දෙවන කරුණ ලෙස රාජ්‍ය සේවකයින් අතරින් වැඩිම බෝනොවන රෝගවලට ලක්වීමේ ප්‍රතිශතයක් එනම් සියයට 30 ක් පමණ පොලිස් දෙපාර්තමේන්තුව තුළින් පෙන්නුම් කිරිමත්, සේවයේ නිරත වන අතරතුර දී බොනෝවන රෝග හේතුවෙන් ජීවිත අහිමි වන වැඩි පිරිසක් ද පොලිස් සේවාවේ වන බැවින් බව එය ද හේතු වු අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයන් දෙකක් ලෙස වයස්ගත ජනගහණයේ සෞඛ්‍ය පවත්වාගෙන යාම සහ බෝනොවන රෝග අභියෝගයට මුහුණ දෙමින් පාලනය කිරීම බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සායනය තුළින් රෝගීන් කළින් හදුනාගෙන ප්‍රතිකාර සිදු කිරිමත් ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් සිදු කෙරෙන බව ද වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම ජංගම සෞඛ්‍ය වැඩසටහන සතියේ වැඩ කරන දිනයන් හි රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය ආයතන සේවකයින්, කාර්ය මණ්ඩල සහ එම කාර්ය මණ්ඩල පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ද ආරෝග්‍යා ජංගම සෞඛ්‍ය වැඩසටහන දුෂ්කර ප්‍රදේශවල ජනතාව ඉලක්කර ගනිමින් සති අන්ත දිනවල දී පවත්වනු ලබයි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික චමින්ද ජයසූරිය, ජාඇල නගරාධිපති රෝෂාන් නොනිස්, ජා ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් නිරෝෂන්, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත (උතුර) අශෝක ධර්මසේන, කැලණිය කොට්ඨාසයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි නුවන් අසංග මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.