E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති අතර, ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටි පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මොහු E-7 හා E-8 යන කාණ්ඩවල රැකියා ලබාදෙන බව පවසමින් මෙලෙස මුදල් ලබාගෙන එම රැකියා ලබා නොදී, ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ හෙයින් ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී සැකකරු මාර්තු මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. මීට අමතරව සැකකරුට එරෙහිව ඇති තවත් පැමිණිලි 3ට අදාළව නඩු 3ක්ද කාර්යාංශය විසින් ගොනුකිරිමට නියමිතයි.

දකුණු කොරියාවේ E-8 කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ වන තෙක් අනුමැතිය හිමි වි නොමැති බැවින්, එම රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින කිසිඳු අයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් අයකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112 864241 ඇමතීම මගින් තොරතුරු ලබාදෙන ලෙස වැඩිදුරටත් කාර්යාංශය ඉල්ලා සිටියි.

Leave A Comment