EDB පලස්තීනය සමග ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථා ශක්තිමත්  කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී  ලංකාවේ පලස්තින  තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී මංගල විජජ්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි අරමුණ වූයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ නව වෙළඳ අවස්ථා සෙවීමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මෙම හමුව මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා පලස්තීනයේ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් සිදු විය.

මෙම සාකච්ඡාව තුල අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පලස්තීන වෙළඳපොලේ ශක්තිමත් විභවයක් ඇති නිෂ්පාදන අංශ කිහිපයක් ඉස්මතු කළ අතර තේ, ස්වාභාවික රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, නෑඹුල් පොල්තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ලංකා කුරුඳු සහ ගම්මිරිස් වැනි කුළුබඩු, සැකසූ ආහාර සහ පාන වර්ග, ආයුර්වේද සහ ඖෂධ පැළෑටි මත පදනම් වූ නිෂ්පාදන ඒ අතර වේ.

එහි පසු විපරමක් ලෙස මෙම අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පලස්තීන ගැනුම්කරුවන්, වෙළඳ මණ්ඩල සහ වෙළඳ ප්‍රවර්ධන සංවිධානවල සහභාගීත්වයෙන් මාර්ගගත දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය යෝජනා කළේය.

මෙම උත්සාහයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා අපනයනයකරුවන් හා පලස්තීන ගනුදෙනුකරුවන් අතර සෘජු සම්බන්ධතා ගොඩනඟා ගැනීමයි. දිගුකාලීන වාණිජ හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් B2B රැස්වීම්, කර්මාන්තශාලා  සංචාර සහ වෙළඳාමට අදාළ කටයුතු සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලය සහ තානාපති කාර්යාලය සාකච්ඡා කළහ.

මෙම මැදිහත්වීම තුළින් අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට සහ නැගී එන ආර්ථිකයන් සමඟ උපායමාර්ගික වෙළඳ සබඳතා ගොඩනඟා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වන අතර එමඟින් මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට අපනයන  අවස්ථාවන් වැඩි දියුණු වනු ඇත.

Leave A Comment