IMF කණ්ඩායම් නායක පීටර් බෘවර් ජනපති හමුවෙයි

තෙවැනි ණය වාරිකය ගැන සාකච්ඡාවට
මේ දිනවල මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය එකඟවී ඇති වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වන විට එකඟවී එහි වාරික දෙකක් ලබාගෙන තිබේ.

එම ණය මුදලේ තුන්වෙනි වාරිකය ලබා ගැනීම සඳහා ඵලදායි සාකච්ඡා වටයක් පැවැත්වීමට අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ තිබේ. නව රජයේ නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව තුනෙන් දෙක ඉක්මවූ බහුතර බලයක් හිමි කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සුවිශේෂී තත්ත්වයකි.

මීට පෙර අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල ජන වරමක් අහිමි දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් නොතිබූ රජයන්ය.

ජයසිරි මුණසිංහ, උපාලි කරුණාරත්න

Leave A Comment