KDU සිසු­වියෝ දෙදෙ­නෙක් මරුට

ආචා­ර්ය­වරු 3ක් ඇතුළු 39කට බර­ප­තළ තුවාල
වේගය පාල­නය කර­ගන්න බැරි වෙලා
පස් කන්ද නොති­බුණා නම් ජීවිත හානි තවත් වැඩියි
බදුල්ල – මහි­යං­ග­ණය ප්‍රධාන මාර්ග‌යේ දුන්හිඳ අඹ­ග­හ­ඔය 05 කණුව ප්‍රදේ­ශයේ ඊයේ (01) පෙර­ව­රුවේ සිදු වූ බස් අන­තු­රින් ජෝන් කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­වියෝ දෙදෙ­නෙක් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති අතර, ආචා­ර්ය­වරු තිදෙ­නෙක් ඇතුළු 39ක් බර­ප­තළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

රියැ­දු­රුට වේගය පාල­නය කර ගැනී­මට නොහැකි වීමෙන් මෙම අන­තුර සිදුව ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වෙයි. අන­තුර සිදු­වන විට බස් රථය ගමන් කර­මින් තිබී ඇත්තේ බෑවු­මක් සහිත මාර්ග­ය­කය.

බස් රථය අන­තු­රට ලක්ව ඇත්තේ වමට වංගු­වක් සහිත ස්ථාන­ය­කදී බවත් වම් පසින් ධාව­නය වෙමින් තිබුණු බස් රථය එම ස්ථාන­යේදී දකුණු පැත්තට ඇදී ගොස් පස් කන්දක ගැටී පෙරළී නතර වී ඇති බව පොලි­සිය කියයි.

එම පස් කන්ද අසල තිබූ විශාල කළු­ගල දෙකට කැඩී ගොස් ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. බස් රථය වේග­යෙන් පහ­ළට ගමන් කර­මින් තිබි­යදී කළු­ගලේ ගැටී ඇති බව අනු­මාන කළ හැකි යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම මාර්ගයේ බෑවුම දෙසට ගමන් කිරී­මේදී වාහන බොහො­ම­යක් පසු­ගිය කාල­යේදී අන­තු­රට ලක්ව ඇති බව ද එම නිල­ධා­රියා කීය. බොහෝ අන­තුරු සිදු වන්නේ බෑවුමේ අව­සාන කොට­සේදී බව ද ඒම නිල­ධා­රියා සඳ­හන් කළේය.

“ගොඩක් වාහන අන­තු­රට පත්වෙලා තියෙන්නේ මේ පැත්තේ අය පැද­පුවා නොවෙයි. මේ පැති­වල අය දන්නවා මේ වගේ පාර­ව­ල්වල වාහ­න­යක් ගමන් කරන විදිහ. මේ පැති­ව­ලට පිටින් එන රියැ­දු­රන් පල්ලම් බහින්නේ බ්‍රේක් ඒකෙන්. ජියර් එකෙන් පල්ලම් බහින්නේ එහෙ­මත් අය. උඩ ඉඳන් පල්ලම් බහින කොට බ්‍රේක් එකෙන් වැකුම් බැහැල බ්‍රේක් අහන්නේ නැති තැනට පත් වෙනවා. මේ අන­තුර සම්බ­න්ධ­යෙන් අපිට පේන්න තියෙන්නේ එවැනි තත්ත්ව­යක්.” යැයි ද එම උසස් නිල­ධා­රියා පැව­සීය.

මෙම බස් රථය මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ පැත්තේ කණ්ඩි­යට වැදී මේ ආකා­ර­යට නොනැ­වතී මාර්ගයේ අනිත් පසින් ඉව­තට පැන්නේ නම් විශාල හානි­යක් වීමට තිබුණු ඉඩ­කඩ බොහෝ බවද ඒම නිල­ධා­රියා කීය. ඒම පැත්තේ ඇත්තේ විශාල හෙළක් බවද ඔහු සඳ­හන් කළේය.

ඇතැම් විට රියැ­දුරු කල්පනා කර අවම හානි­ය­කින් තත්ත්වය පාලන කර ගැනී­මට මෙසේ පස් කණ්ඩි­යට පාල­න­ය­කින් තොරව ධාව­නය වෙමින් තිබුණු බස් රථය ඇල්ලු­වාද යන්න පිළි­බඳ සැක­යක් පව­තින බවද එම නිල­ධා­රියා කීය. බස් රථය කන්දේ වැදී ඇත්තේ රියැ­දු­රුගේ පැත්තෙනි. එබැ­වින් ඔහු මේ වන විට සිටින්නේ තර­මක් බර­ප­තළ තත්ත්වයේ බැවින් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට නොහැකි බව ද එම නිල­ධා­රියා කීය.

මෙම අන­තුර සිදු­වන විට බස් රථයේ රියැ­දුරු හා රිය සහ­යක සමඟ 41 දෙනෙක් ගමන් කර­මින් සිට ඇත. ඒ අතර සිටි 36 දෙනෙක්ම සිසුන් බව ද පොලි­සිය සඳ­හන් කළේය. තිදෙ­නෙක් කථි­කා­චා­ර්ය­ව­රුය. ඔවුන් සියලු දෙනාම අන­තු­රින් තුවාල ලබා රෝහ­ල්ගත කර සිටිති. රියැ­දුරු සහ රිය සහ­යක ලෙස සිට ඇත්තේ හමුදා සාමා­ජි­ක­යන්ය.

මෙම බිහි­සුණු අන­තු­රින් මිය ගොස් ඇත්තේ, නිවි­ති­ගල තොල­ඹු­ග­මුව පහ­ළ­කන්ද පදිං­චිව සිටි එම්.ජී.අයි. උප­යං­ගනී සහ කුරු­ණෑ­ගල උණ­කො­ළ­ගෙ­දර කර­ඩි­වත්ත පදිං­චිව සිටි එම්.එම්.පී.ටී. හෙට්ටි­මුල්ල නමැති කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ දක්ෂිණ මණ්ඩ­පයේ සිසු­වි­යන් දෙදෙ­නෙකි. මෙම අන­තුර සිදුව තිබුණේ ඊයේ (01) පෙර­වරු 8ට පමණ බදුල්ල – මහි­යං­ගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ග­යට නුදු­රින් පිහිටි තුන්වන හා හත­ර­වන කිලෝ­මී­ටර් කණු අත­රය.

තුවා­ල­ක­රු­වන් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ, වාට්ටු අංක 9, 10, 15 වාට්ටු­වල ප්‍රති­කාර ලබ­මින් පසු­වෙන බවත් ඔවු­න්ගෙන් සය දෙන­කුගේ තත්ත්වය බර­ප­තළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි. ඔවුන් අන­තු­රට පත්ව තිබුණේ පෙරේදා (31) පස්සර පැල්ග­හ­තැන්න කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ නවා­තැන් ගෙන යළි ක්ෂේත්‍ර පරී­ක්ෂා­වක් සඳහා යමින් සිටි­යදී බවත් පොලි­සිය කියයි.

කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ මෙම සිසුන් පෙරේදා (31) බදු­ල්ලට පැමිණ ඇල්ල ප්‍රදේ­ශ­යට ගොස් පසුව පස්සර පැල්ග­හ­තැන්න ප්‍රදේ­ශයේ නවා­තැන් ගෙන ඊයේ (1) උදෑ­සන පුහුණු වැඩ­ස­ට­හ­න­කට බදුල්ල හරහා රන්දෙ­ණි­ගල බලා යමින් සිටි­යදී මෙම අන­තුර සිදුව ඇතැයි ද පොලි­සිය පැව­සීය. අන­තුර සිදු වීමත් සමඟ ක්ෂණි­කව එම ස්ථාන­යට ගිය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය පාලිත රාජ­පක්ෂ මහතා රෝහල් කාර්ය මණ්ඩ­ලය මහත් වෙහෙ­සක් දර­මින් ප්‍රදේ­ශ­වා­සීන් ද සමඟ එක්වී බස් රථය තුළ සිරවී සිටි තුවා­ල­ක­රු­වන් ඉව­තට ගෙන ගිලන් රථ­ව­ලින් බදුල්ල ශික්ෂණ රෝහ­ලට රෝගීන් යැවී­මට යුහු­සු­ළුව කට­යුතු කළහ.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ දී වෛද්‍ය­ව­රුන්, හෙද කාර්ය මණ්ඩ­ලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලය එක්වී රෝගීන්ට ප්‍රති­කාර කිරී­මට යුහු­සු­ළුව කට­යුතු සිදු කළහ.

කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ ඉගෙ­නුම ලබන සිසු සිසු­වි­යන් පිරි­සක් මෙසේ අන­තු­රට මුහුණ පා ඇති බවත් ඔවුන් සිය අධ්‍යා­පන පුහුණු වැඩ­ස­ට­හ­නක් සඳහා රන්දෙ­ණි­ගල බලා යමින් සිට ඇති බවත් පොලි­සිය සඳ­හන් කළේය. මෙම බිහි­සුණු අන­තු­රින් බස් රථ­යට දැඩි ලෙස හානි වී ඇත. තුවාල ලැබූ මෙම සර­සවි සිසුන් බදුල්ල, රත්න­පුර, කෑගල්ල, පාදුක්ක, අවි­ස්සා­වේල්ල, අලව්ව, කුරු­ණෑ­ගල ආදී දිව­යිනේ ප්‍රදේශ රැසක පදිංචි අය­ව­ලුන් බවද පොලි­සිය පව­සයි.

මෙම අන­තු­රට හේතුව මෙතෙක් නිශ්චි­ත­වම අනා­ව­ර­ණය වී නොමැත. බදුල්ල කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දෙ­වත්ත මහතා සඳ­හන් කරනු ලැබුවේ ඒම ස්ථාන­යට මෝටර් රථ පරී­ක්ෂ­කද පැමිණි බවය. බස් රථය අද හෝ හෙට මෝටර් රථ පරී­ක්ෂක පූර්ණ පරී­ක්ෂා­ව­කට ලක්කර අන­තු­රට හේතුව සඳ­හන් කරනු ඇති බවය.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති සුජිත් වෙද­මුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත, පොලිස් අධි­කාරි පී.එම්. ජය­රත්න යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බදුල්ල වැඩ­බ­ලන මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චානක චිරං­ජීව විජේ­රත්න, කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජය­තුංග, උප­පො­ලිස් පරී­ක්ෂක ඒ.වී. අනුර යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

DN

Leave A Comment