NCGG-SLIDA අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර

ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරීන්ගේ ධාරිතා ගොඩනැඟීම සම්බන්ධයෙන් වන ඉන්දීය යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු සවිමත් කිරීමට දෙරටේ රජයන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාවේ යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලද අතර වසර 5ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සිවිල් සේවා නිලධාරීන් 1500ක් සඳහා පුහුණුව ලබාදීම සහ ඔවුන්ගේ ධාරිතා ගොඩනැඟීම එහි අරමුණ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මෙම අවබෝධතා ගිවිසුම ඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු සවිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආරාධනය මත NCGG හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුරේන්ද්‍රකුමාර් බාග්දේ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර NCGG හි සහකාර මහාචාර්ය අෂුතෝෂ් පාල් සිංග් මහතා ද මෙම නියෝජිත පිරිසට අයත් බව එම මහකොමසාරිස් කාර්යාලය කියයි.

නියෝජිත පිරිස ශ්‍රී ලංකා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහත්වරු ද හමු වී සාකච්ඡා පැවැත්වූහ.

අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා සිවිල් සේවකයන් 40ක පමණ කණ්ඩායමක් සඳහා පළමු මොඩියුලය ඉක්මනින් පැවැත්වේ. අවබෝධතා ගිවිසුම සාකච්ඡා අදියරේ තිබියදී පවා ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරීන් 200ක් පමණ NCGG හි ධාරිතා ගොඩනැඟීමේ වැඩසටහන් යටතේ පුහුණුව ලබා තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර

 

Leave A Comment