SLIIT වංචාව 

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය ක්‍රියාවලියකට පාත්‍ර වීම ඉතාමත්ම සූක්ෂ්ම හා සංවිධානාත්මක ලෙසින් වළක්වමින් තිබේ.

ඉතා කෙටියෙන් කිවහොත් ස්ලිට් වංචාව සිදුව ඇත්තේ මෙසේය. ස්ලිට් ආයතනය ආරම්භ කරන ලද්දේ මහපොළ අරමුදල විසින් රජයේ ඉඩමක් සහ රජයේ අරමුදල් යොදාගෙන රාජ්‍ය ආයතනයක් වශයෙන් 1999 දීය. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන් සඳහා සාධාරණ ගාස්තුවකට තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුණාත්මක උසස් අධ්‍යාපන අවස්ථාවක් ලබා දීමයි. ඒ අනුව එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය, ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක පිරිසක් පත් කරන ලදී. මේ අය අතුරින් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පත්කළ තිදෙනා සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා යන කණ්ඩායම ඉන්පසුව සදාකාලයටම එම තනතුරු දරන්නට පටන් ගැනුනි. (රජයේ අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට ධූරය දැරිය හැක්කේ වසර තුන බැගින් වන ධූර කාල දෙකක් පමණක් වන අතර පාලක සභා සාමාජිකයන්ටද එබඳු සීමාවක් ඇත).

නමුත් වංචාවේ හොඳම සහ විශ්මයජනක කොටස එය නොවේ. එකී සිව්දෙනා ඇතුළු පිරිසක් විසින් සාමාන්‍යයෙන් කිසිවෙකුටත් හීනෙන්වත් සිතන්නට නොහැකි දෙයක් 2015 මැයි 12 දින සිදු කරන ලදී. එනම් එතෙක් රජයේ දේපලක් ලෙස තිබුණු මේ ආයතනයේ අයිතිය, එදින අත්සන් කරන ලද ගිවිසුම් දෙකක් මගින් තමන් වෙත පවරා ගැනීමට කටයුතු කිරීමයි. ඔබට එය කිසිසේත්ම විශ්වාස කිරීමට නොහැකි දෙයක් ලෙස සිතෙනවා නේද? යම් රාජ්‍ය ආයතනයක පරිපාලන කටයුතු කිරීමට පත්කරන ලද නිලධාරීන් කිහිප දෙනෙකු එක්වී එම ආයතනය තමන්ගේ නමට ලියා ගැනීම කිසිසේත්ම සිදු විය හැකි දෙයක්ද?

ඔබට කොතෙක් විශ්වාස කිරීමට අපහසු වුවත්, 2021 අප්‍රේල් 26 දින ප්‍රකාශයට පත් කර ඇති පිටු 467 කින් යුත් විස්තරාත්මක කෝප් කමිටු වාර්තාවට අනුව නම් ඇත්තෙන්ම එය එසේ සිදුවී ඇත.  ඔබට සැකනම් කරුණාකර මේ සමග අමුණා ඇති දෙවැනි සහ තුන්වැනි ඡායාරූපවල ඇති එවකට කෝප් සභාපති චරිත හේරත්ගේ “සභාපතිවරයාගේ සටහන” කියවන්න. එසේම මේ මුළු කතාන්දරයම දැන ගනීමට කැමති අය කරුණාකර මම කමෙන්ට් එකක දමන ලින්ක් එකේ ගොස් සම්පූර්ණ කෝප් කමිටු වාර්තාව කියවන්න. ලංකාව දූෂණය සහ වංචාව අතින් ගමන් කර ඇති විශ්මයජනක දුරත් එසේම ඒවා සිදුවන නග්න සහ නිර්ලජ්ජිත ආකාරයත් එවිට ඔබට පැහැදිලි වනු ඇත. ඒ අනුව 1999දී රජයේ ඉඩමක් සහ රජයේ අරමුදල් යොදාගෙන, රාජ්‍ය ආයතනක් ලෙසට ආරම්භ කළ ස්ලිට් ආයතනය, රජය විසින්ම ඊට පත්කළ නිලධාරීන් කණ්ඩායමක් එකතු වී 2015දී හොරකම් කර තිබේ.

මේ පිළිබඳව මුලින්ම හෙළිදරව් කරන ලද්දේ 2015දීම වාගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවේදීය. තමන්ගේ පක්ෂයට විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ලවන පසුබිමක එක්දිනක ඔහු පැවසුවේ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මේ ආණ්ඩුව යටතේ සිදුවී ඇති බවත්, ආණ්ඩුවේ දේපලක් වන ස්ලිට් ආයතනය පුද්ගලයන් කිහිප දෙනෙකු එක්වී රාජ්‍ය අනුග්‍රහය යටතේ තමන්ගේ නමට ලියාගෙන ඇති බවත්ය. නමුත් එයින් පසුව ඔහු විශ්මයජනක ලෙස නිහඬ විය. පසුව විජයදාස රාජපක්ෂද මේ ගැන පාර්ලිමේන්තුවේදී කී බව මතකය. නමුත් ඒවා වැඩිදුර ගියේ නැති අතර මේ සියල්ල සිදුවන අතරතුර 2017දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් තමන්ට ඇති සියලු බාධාවන් ඉවත් ගැනීමට පෙර කී කණ්ඩායම කටයුතු කර ඇත. මෙසේ වරින් වර මතුවෙමින් නමුත් යටයමින් (යට යවමින්) තිබූ මෙය විස්තරාත්මකව මතුවූයේ චරිත හේරත්ගේ සභාපතීත්වයෙන් යුතු කෝප් කමිටුවේදීය. නමුත් ඒ කිසිදු විටෙක විධිමත් අපරාධ පරීක්ෂණයකට ලක් නොවී බේරී සිටීමට මේ හා සම්බන්ධ පිරිස වාසනාවන්ත වූ බව පෙනේ.

මට පෙනෙන කරුනුත්, එසේම මාගේ පෞද්ගලික අත්දැකීමුත් එකට ගත් කල කිව හැක්කේ මේ ස්ලිට් වංචාව යට ගැසීම සඳහා ඉතාමත්ම විධිමත්ව සංවිධානය වූ චෞර වළල්ලක් ඉතාමත්ම සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බවයි. මේ මාතෘකාව කිසිදු ලෙසකින් හෝ සාකච්ඡාවට ගැනීම පවා වලක්වා ගැනීමට ඔවුහු කටයුතු කරති. එක්කෝ මේ ගැන කතාකරන අයව, විවිධ වරප්‍රසාද සහ වරදාන දී දිනා ගනිති. නැතිනම් ඔවුනට විරුද්ධව අයුතු චෝදනා නැගීම මගින් ඔවුන්ව නිහඬ කරති. එසේත් නැතිනම් බොහෝ ආණ්ඩු තුලට විනිවිද ගොස් ඇති ඔවුන්ගේ පිරිස් විසින් රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඒවා සඟවා ගනිති. මේ සමගම සිදුවන තවත් දෙයක් නම් “අහිංසක සිසුන්” නමැති කඩතුරාවට මුවා වීමයි. මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නිසා ස්ලිට් ආයතනයේ ඉගෙන ගන්නා සිසුන්ට අවාසියක් සිදුවන බව කියමින් අමුතුම කරුණාවක් පෙන්වමින්, කිඹුල් කඳුළු හෙලමින් මේ ගැන කතා කරන අයට විරුද්ධව සිසුන්ව සහ දෙමව්පියන්ව ඇවිස්සීමට උත්සාහ කරති. මේවා මගේ අත්දැකීම්ය. ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති මේ වංචාව හෙළිදරව් කිරීම නිසා සිසුන්ට අවාසියක් වේ නම්, කෙහෙළිය රඹුක්වැල්ලගේ ඖෂද ජාවාරවම හෙළිදරව් කිරීමද වැරදි වැඩක් විය යුතුය. ඇත්තෙන්ම කෙහෙළියලා වැනි වංචනිකයන් හෙළිදරව් කර ඔවුන්ව නීතිය හමුවට ගෙනයාම සෞඛ්‍ය පද්ධතිය රැකගැනීමට හේතුවනවා මෙන්ම කාට හෝ ස්ලිට් ආයතනය රැක ගැනීමට අවශ්‍යනම් ඔවුන් කළ යුත්තේ එය වංචනිකයන්ගෙන් බේරා ගැනීමයි. ඒ මිස ඒ වංචනිකයන් රැකගැනීම සඳහා සංවිධානාත්මකව වැඩ කරමින් සිටින චෞරවලල්ලේ නෝනා මහත්වරුන්ගේ උසිගැන්වීම්වලට හසුවීම නොවේ.

තව කිව යුතු බොහෝ දේ තිබේ. මේ ස්ලිට් වංචාව ගැන මෑතකදී වසන්ත සමරසිංහ ඇමතිවරයා විසින් ප්‍රසිද්ධියේ පවසනු දුටුවෙමි. මෙම වංචාවේ ප්‍රමාණය නොදන්නා පිරිස් සහ මේ වංචනිකයන්ට සම්බන්ධ පිරිස් යන කණ්ඩායම් විසින් ඔහුට අපහාස කර තිබෙනුද දුටුවෙමි. (එසේම මේ ගැන කතාකරන්නට ගොස් මේ චෞර වළල්ලට සම්බන්ධ සමහරුන්ගෙන් බැනුම් ඇසූ අත්දැකීමක් මටත් තිබේ). නමුත් කරුණු නොදන්නවුන්ගේ සහ කරුණු සඟවන්නවුන්ගේ යන දෙපිරිසේම අවලාද සහ සූක්ෂ්ම සැලසුම්වලට හසු නොවී මේ වංචනිකයන්ට නිසි දඬුවම් පැමිණ වීමට බලධාරීන්ට ධෛර්යය හා ශක්තිය ලැබේවා යැයි පතමි.

(ස්ලිට් වංචාව ගැන සම්පූර්ණ කෝප් වාර්තාව මෙම ලින්ක් එකෙන්).

|අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
|අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

 

Leave A Comment