TISL සංශෝධන ඇතුලත් අර්ථලාභී හිමිකාරිත්ව (Beneficial Ownership) නීතිය සම්මත වේ

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා 2025 අගෝස්තු මස 04 වැනි දින සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත දැන් බලාත්මක වේ.

පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් ඉදිරිපත් කල ගැටලු පිළිබඳව නීතිපති විසින් දැක්වූ ගුණාත්මක ප්‍රතිචාරය වෙත TISL ආයතනය ‍සිය ප්‍රසාදය පල කරයි. යෝජිත නීති සංශෝධන මගින් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සහ අර්ථලාභී හිමිකාරිත්වයේ විනිවිදභාවය (Beneficial Ownership Information-BOI) තහවුරු කරන බව සහතික කරන ලෙස ඉල්ලා මහජන සුබසිද්ධිය පදනම්ව මෙම පෙත්සම ගොනු කරන ලදී.

විශේෂයෙන් TISL ආයතනය අවධානය යොමු කරන ලද්දේ,  බිල්පතේ 7 වන වගන්තිය යටතේ හඳුන්වා දී ඇති 130 (A) සිට 130 (J) දක්වා වූ අර්ථලාභී  හිමිකාරීත්ව තොරතුරු (BOI) ලියාපදිංචි ලේඛනය  පිහිටුවීම සම්බන්ධ කොටසටයි. මෙම වගන්ති, නීතියේ සමාන ආරක්ෂාවට ඇති අයිතිය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය යන මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව TISL ආයතනය විසින් පෙන්වා දෙනු ලැබුවේ ය. විනිවිදභාවය හා පොදු වගකීම් වැඩි දියුණු කිරීම සඳහා මෙම වගන්ති ප්‍රමාණවත් නොවන බව TISL ආයතනය පහත පරිදි අවධාරණය කර ඇත.

  • 130ආ(6) උපවගන්තිය මඟින් රෙජිස්ට්‍රාර්වරයාට අර්ථලාභී හිමිකාරීත්ව තොරතුරු ලේඛනයක් නඩත්තු කිරීම සඳහා වගකීම පවරන නමුත් එය ප්‍රගාමීව, ඩිජිටල් ආකාරයෙන් හෝ මහජන ප්‍රසිද්ධියට පත් කිරීමක් හෝ වෙනත් රාජ්‍ය දත්ත ගබඩාවක් සමඟ ඒකාබද්ධ කිරීමක් අනිවාර්ය නොකිරීම නිසා, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමේ අඩුපාඩුවක් පවතී.
  • 130D වගන්තිය මඟින් මහජන ප්‍රවේශය සීමා කරමින්, සම්පූර්ණ නම සහ හිමිකමේ ස්වභාවය සහ ප්‍රමාණය පුද්ගලයකුගේ නිල ඉල්ලීමක් මත ලබාදීමක් පමණක් සැලසේ.

මෙම සීමාකිරීම් හේතුවෙන්, අදාළ අර්ථලාභී  හිමිකරුවන් හඳුනා ගැනීමේ හැකියාව සීමා වීම සහ එමඟින් සමාන නම් ඇති අවස්ථා වලදී ගැනීම අපහසු වේ. නිසි පුද්ගලයන් හඳුනාගැනීමක් කල නොහැකි විට අර්ථලාභී  හිමිකාරීත්ව ලියාපදිංචි කිරීමේ  මූලික අරමුණ යටපත් කිරීමක් සිදු වේ.

මේ සම්බන්දව 2025 ජූනි 23 වන දින පැවති නඩු  විභාගයේදී නීතිපතිතුමා විසින් පෙත්සමේදී ඉදිරිපත් කළ ගැටලු සඳහා අවශ්‍ය සංශෝධන සිදු කරන බවට ප්‍රකාශ කල අතර, ඒ අනුව බිල්පතේ දෙවැනි වර කියවීමේදී පහත සඳහන් ප්‍රධාන සංශෝධන සිදුකර ඇත,

  • සමාගම් හි අර්ථලාභී හිමිකරුවන්ගේ සම්පූර්ණ නම (පූර්ව නාම ඇතුළු), ජාතිකත්වය, පදිංචි රටවල්, ව්‍යාපාරික ලිපිනය සහ හිමිකමේ ස්වභාවය සහ ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඩිජිටල් හෝ භෞතික ආකාරයෙන් නොමිලේ මහජන ප්‍රවේශයට පත් කර ඇත.
  • මෙම තොරතුරු සත්‍ය පිටපතක් (සහතික කළ පිටපතක්) ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් වෙත නිල ඉල්ලීමක් සහ නියමිත ගාස්තුවක් ගෙවීම මත ලබා ගැනීමට හැකියාව පවතී.
  • 130ආ(1) යටතේ මහජන ප්‍රවේශයට පත් නොවන වැඩිමනක් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පාර්ශවයන්ට, 2016 අංක 12 දරණ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් කළ හැකිය.

අර්ථලාභී  හිමිකම් පිළිබඳ වඩාත් ප්‍රමාණවත්, හඳුනාගැනීම පහසු කරන තොරතුරු        වලට මහජන ප්‍රවේශය නොදීමෙන් එම අර්ථලාභී  හිමිකාරීත්ව තොරතුරු ලේඛනයක කාර්යක්ෂමත්වය හා ප්‍රයෝජනවත් බව අහිමි වන අතර, සමාන නම් සහ වෙනත් අභියෝග හේතුවෙන්  සමාගමක අවසාන හිමිකරුවන් හඳුනා ගැනීමට බාධා සිදු වේ.

තොරතුරු සීමා කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව සහ 14(ඒ) වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස ආරක්ෂිත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව TISL ආයතනය විසින් පෙත්සමෙන් පෙන්වා දෙන ලදී. එමෙන්ම, අර්ථලාභී  හිමිකාරීත්ව ලියාපදිංචියෙහි අරමුණද එමඟින් බිඳ වැටේ. අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මහජන ප්‍රවේශය සහිත අර්ථලාභී හිමිකාරීත්ව ලේඛනයක් පවත්වා ගැනීම සදාචාරාත්මක ව්‍යාපාර හා ව්‍යාපාරික ක්‍රමෝපායන් ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වේ.

ඉතා වැදගත් සංශෝධනයක් වන, අර්ථලාභී  හිමිකරුවන් සම්පූර්ණයෙන් හඳුනා ගැනීමට සහ සමාගම් පාලනයේ විනිවිදභාවය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන, මහජන ප්‍රවේශයට ඇති BOI ලියාපදිංචිය පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ආයතනික පරිපාලනයේ වැදගත් පියවරක් වේ.

එමෙන්ම හිමිකාරීත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ නමට පමණක් සීමා නොවී, මහජනතාවට ප්‍රවේශය ලැබිය හැකි තොරතුරු පරාසය විශාල කිරීමෙන් විනිවිදභාවය සහ වගකීම්භාවය වගවීම මේ තුලින් දැඩිව ශක්තිමත් කෙරේ. සමාගම්වල අවසන් අර්ථලාභී  හිමිකරු ූ හෝ පාලනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමේ හැකියාව සලසන, මහජන ප්‍රවේශයට ලක් කළ හැකි අර්ථලාභී  හිමිකාරීත්ව ලියාපදිංචි ලේඛනයක් පිහිටුවීම, ඉතා වැදගත් නීතිමය ප්‍රතිසංස්කරණයකි.

මෙම නීතිය ඵලදායීව සහ අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජය සහ සමාගම් රෙජිස්ට්‍රාර් වහා පියවර ගත යුතු බව TISL ආයතනය අවධාරණය කරයි. එය ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන වල විනිවිදභාවය සහ වගවීම ප්‍රබල කරමින්, සමාගම් ව්‍යුහයන්, දූෂණය, මුදල් විශුද්ධිකරණය, නීතිවිරෝධී මූල්‍ය සංසරණ, බැඳියාවන් අතර ගැටුම්, බදු වංචා, බලය අවභාවිතය වැනි ක්‍රියාකාරකම් සඳහා භාවිතය වළක්වා ගැනීම හා හඳුනා ගැනීම සඳහා වඩාත් ඵලදායී පදනමක් සකස් කරයි.

Tags:

Leave A Comment