X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.

ඊට පස්සේ ජනාධිපති වරප්‍රසාද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දේශබන්දු, ප්‍රමිෂ්කා …  මෙකී නොකී දේවල්වලින් බුකිය පිරිලා ගියපු නිසා දැන් ආයෙත් අපි හැමෝටම ඒ නියෝගයේ බරපතලම කොටස අමතක වෙලා. කොටින්ම අධිකරණයටත්, අල්ලස් හෝ වංචා විමර්ශන කොමිසමටත්, පොලිසියටත්, සමහර විට නීතිපති දෙපාර්තමේන්තුවටත් අමතක නැති වුණත් තීන්දුවෙන් පස්සේ අධිකරණ ක්‍රියාදාමය අවසන් නැති බව බොහෝ දෙනා නොදන්නවා වෙන්න පුළුවන්.

ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කතා කරද්දී බොහෝ දෙනා කථා කළේ නැත්නම් මාධ්‍යවල headline එක වුණේ අවුරුද්දක් ඇතුළත ලංකාවේ භාණ්ඩාගාරයට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න කියල “X-Press Pearl Group” එකට කරපු නියෝගය. නමුත් ඒ එක්කම අධිකරණය තවත් නියෝග ගණනාවක් කළා. එකක් තමයි, සිදු වූ ව්‍යසනය වෙනුවෙන් වන්දිය ලබා ගැනීම සඳහා දියත්වුණ ක්‍රියාදාමයේදී දැවැන්ත අල්ලසක් ගත් බවට එල්ලවුණ චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ, මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්වුණ සියලු කරුණු ගැන විමර්ශනය කරන්න කියල අල්ලස් කොමිසමට සහ පොලිසියට කළ නියෝගය.

ඉතින් මේ තීන්දුවත් එක්කම අවධානයට ලක්විය යුතු චරිත කිහිපයක් ගැන කෙටි මතක් කිරීමක් කළ යුතුයි කියල හිතුණා.

අජිත් මාන්නප්පෙරුම
අජිත් මාන්නප්පෙරුම

අජිත් මාන්නප්පෙරුම

පාර්ලිමේන්තුවේ පරිසරය පිළිබඳ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විදියට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන්මේ ව්‍යසනය සහ අල්ලස් චෝදනාව ගැන පුළුල් සොයා බැලීමක් කරලා වාර්තාවකුත් නිකුත් කළා. විශේෂයෙන්ම ඒ පරීක්ෂණයේදී මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා දැඩිව ප්‍රශ්න කළේ, ඒ වෙලාවේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ගේ දැඩි විරෝධය සහ බාධා කිරීම් නොතකා හරිමින්.

ඒ වගේම, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නෞකා සමාගම අල්ලස් දීපු බවටත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. මම හිතන්නේ මේ අල්ලස් චෝදනාව ගැන ඔහු තමයි පළවෙනි බෝම්බය ගැහුවේ.

| විජයදාස රාජපක්ෂ
| විජයදාස රාජපක්ෂ

විජයදාස රාජපක්ෂ

ලංකාවට වන්දි ලබාගැනීමේ අධිකරණ ක්‍රියාදාමය අඩපණ කරන්න චාමර ගුණසේකර කියල පුද්ගලයෙකුගේ බ්‍රිතාන්‍යයේ ගිණුමකට ඩොලර් මිලියන 250ක් බැර කරලා තියෙනව කියල එවකට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා සිටිය. ඔහු කිවුවේ, තමන්ට ඒ තොරතුර දුන්නේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා කියල. කොහොම වුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මම විමසීමක් කළ වෙලාවේ එවකට CID අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල සඳහන් කළේ, ඒ ගැන විජයදාස රාජපක්ෂ තමන්ට පැමිණිල්ලක් කළේ නැහැ කියල. ඒ ගැන පැමිණිල්ල දාල තිබුණේ මීපා ආයතනයේ CEO ජගත් ගුණසේකර.

අජිත් මාන්නප්පෙරුම දුන්න රහසිගත තොරතුර ප්‍රසිද්ධ වේදිකාවේ කියපු විජයදාස රාජපක්ෂ ඇමතිවරයා, අජිත් මාන්නප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරන එක වැළැක්වුවා. හිටපු ඇමතිවරයාගෙන් මම ඒ ගැන අහපු වෙලාවෙත් ඔහු කිවුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් එහෙම ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න බැහැ කියල. කොහොම වුණත් හිටපු ඇමතිවරයා එදා ගත්ත ස්ථාවරය වැරදි බව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනව. අධිකරණය කියන්නේ නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ බව.

වන්දි නඩුව ලංකාවේ පවරන්න කියල ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වගේම ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ මෙන්දක ජයසුන්දර සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කමිටුව නිර්දේශ කරලා තියෙද්දිත් සිංගප්පූරුවේ නඩු පැවරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ විජයදාස රාජපක්ෂ යටතේ තිබුණ අධිකරණ අමාත්‍යාංශය. ඒ වගේම ඔහු නීතිපතිවරයාගේ ඒ තීරණය දැඩිව අනුමත කළා.

| රනිල් වික්‍රමසිංහ
| රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිල හිටපු වෙලාවක තවත් ඩොලර් මිලියන 10-15ක් වියදම් කරලා සිංගප්පූරුවේ නඩු පැවරීමේ තීරණය අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපතිවරයා වෙනුවෙන් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කරපු රැස්වීම්වලට සහභාගි වුණා.

ඒ වගේම තමයි, ශ්‍රී ලාංකිකයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් කියල අධිකරණය තීන්දු කළ සන්ජේ රාජරත්නම්ට නීති විරෝධී සේවා දිගුවක් දීල රටේ අගවිනිසුරු පදවියට පත්කරන්න පවා රනිල් වික්‍රමසිංහ නිර්ලජ්ජිත උත්සාහයකත් යෙදුණ.

| සාගල රත්නායක
| සාගල රත්නායක

සාගල රත්නායක

රැස්වීම්වලට සහභාගි වුණා විතරක් නෙවෙයි, සාගල රත්නායක ඒ සම්බන්ධ තීන්දුවලට බලපෑම් කළා. සියලුම වන්දි ගෙවීම් සහ reimbursement ඩොලර්වලින් පමණක් ගෙවිය යුතුයි කියල දෙපාර්ශවය එකඟ වෙලා තියෙද්දී, කොටසක් රුපියල්වලින් ගෙවන්න නෞකා සමාගම කළ යෝජනාවට එකඟවෙන්න කියල සාගල රත්නායක බල කරපු බව මීපා ආයතනයේ එවකට සභාපතිනි දර්ශනී ලහඳපුර සඳහන් කරනවා.

පාර්ලිමේන්තු කාරක සභාවකට ඇය දීපු ලිඛිත වාර්තාවක දැක්වෙන විදියට, එය මුදල් විශුද්ධිකරණය කිරීමේ උත්සහයක් ද කියලත් සැක කරන්න පුළුවන්.

| සංජේ රාජරත්නම්
| සංජේ රාජරත්නම්
| විකුම් ඩි ආබෘෘ
| විකුම් ඩි ආබෘෘ
| නයෝමි කහවිට
| නයෝමි කහවිට

සංජේ රාජරත්නම්, විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට

මේ ව්‍යසනය සම්බන්ධයෙන් ක්‍රියා (නො)කරපු ආකාරය සලකා බැලුවම, නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික හිමිකම් උල්ලංඝනය කළ බව අධිකරණය තීන්දු කළා.

ව්‍යසනය අවස්ථාවේ ඉඳලම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ නීතිපති සංජේ රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩි ආබෘ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි කහවිට. ව්‍යසනය ගැන විද්‍යාත්මක තක්සේරුවක් කරන්න පත්කරපු රටේ නමක් තියන, ගෞරවයට පාත්‍රවුණ විශේෂඥයින්ට මේ තුන් දෙනා සැලකුවේ ඕනෑවට, එපාවට කියල ඒ විශේෂඥයින් පාර්ලිමේන්තු කමිටුව හමුවේ පැමිණිළි කළා. නමුත් නෞකා සමාගමෙන් ඉල්ලීමක් යොමු කළා නම් මේ තුන් දෙනා බොහොම කඩිසරව වහාම ඒ ඉල්ලීම්වලට පිළිතුරු දුන්නලු. සංජේ රාජරත්නම්, විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට තුන් දෙනා නෞකා සමාගමට උපකාර කරන්න කොයි තරම් උනන්දු වුණා ද කියනවා නම් සමහර වෙලාවට තමන් ළඟ නොතිබුණ තොරතුරු ලබාගන්න රජයේ නිලධාරීන්ට බලපෑම් පවා කළ බවත් වාර්තා වෙනවා.

විශේෂඥ කමිටුව කරන මේ චෝදනා සාධාරණ බව දැන් රටේ ඉහළම අධිකරණයත් පිළි අරගෙන තියෙනව.

එපමණක් නොවෙයි, මියගිය කැස්බෑවුන් ගැන expert committee එක කරපු තක්සේරුව නීතිපති දෙපාර්තමේන්තුව අවඥාවෙන් බැහැර කළා කියල, මීපා ආයතනයේ හිටපු සභාපති අසේල රැකව මා සමග කිවුව.

මේ අතරේ විකුම් ඩි ආබෘ සහ නයෝමි කහවිට දෙන්නට තවත් බරපතල චෝදනාවක් එල්ල වෙනවා.

X-Press Pearl ව්‍යසනයට මාස කිහිපයකට කළින් – 2020 සැප්තැම්බරයෙදී – නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්ත වෙලාවේ ඒ ගැන නීතිමය කටයුතු කිරීම පැවරිලා තිබුණෙත් මේ දෙන්නට. කොහොම නමුත් නඩුව දාන්න තියන අවසාන සතියේ මේ දෙන්නම New Diamond නඩුවේ file ටික සේප්පුවක වහල දාල විදේශගත වෙලා තිබුණ!.

ඒ දෙන්නගේත් උපදෙස් අනුව, එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවට ගෙනියන්න තීරණය කරන්නේ නීතිපති සංජේ රාජරත්නම්. කැබිනට් මණ්ඩලය ඒ තීන්දුව අනුමත කරනවා. නීතිපතිගේත්, කැබිනට් මණ්ඩලයේත් ඒ තීන්දුව වැරදි බව – ඒක ශ්‍රී ලාංකිකයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමක් බව – රටේ උත්තරීතර අධිකරණය තීන්දු කරලා තියෙනව.

මෙතැනදී මම දැකපු තවත් විශේෂයෙක් තමයි, නීතිපතිට එරෙහිව පෙර නොවූ, විරූ තීන්දුවක් දීපු විනිසුරු මඩුල්ලේ විනිසුරුවන්ගෙන් දෙන්නෙක්ම – අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ – නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් වීම.

| ආචාර්ය නාලක ගොඩහේවා
| ආචාර්ය නාලක ගොඩහේවා

ආචාර්ය නාලක ගොඩහේවා

ආචාර්ය නාලක ගොඩහේවා ත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කරපු බව අධිකරණය තීන්දු කළා. ඒ විෂය භාර අමාත්‍යවරයා හැටියට, අනතුරට කලින් අවශ්‍ය කමිටුවක් පිහිටුවීමට අපොහොසත්වීම නිසා. ඒ වගේම වාරකන් නිසාත් කැස්බෑවුන් මැරෙන්න පුළුවන් කියල – ආචාර්ය ආශා ද වොස් කියපු කතාවක් වුණත් – කට වරද්දාගෙන ඔහු ලංකාවේ විතරක් නොවෙයි ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවටත් පත්වුණා. කොහොම වුණත් ව්‍යසනයෙන් ටික කාලෙකට පස්සේ ඔහුට වෙනත් විෂයයක් පැවරෙනවා.

නමුත් නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්ත වෙලාවේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාව හිටියේ නාලක ගොඩහේවා. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන මම විමසීමක් කළ වෙලාවේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කිවුවේ, එක්ස්ප්‍රස් පර්ල් වලට කලින් නිව් ඩයමන්ඩ් ගැන හොයන්න ඕනේ කියල. එතෙන්දි විජයදාස රාජපක්ෂ කෙලින්ම ඇඟිල්ල දිගු කළේ නාලක ගොඩහේවාට. නමුත් ගොඩහේවා නිව් ඩයමන්ඩ් නැව ගැන ඔහුට එල්ලවෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

| ආචාර්ය ආශා ඩි වොස්
| ආචාර්ය ආශා ඩි වොස්

ආචාර්ය ආශා ඩි වොස්

සමුද්‍ර ජීවීන්ට ආදරය කරන, විශේෂයෙන්ම නිල තල්මසුන් ගැන ලෝක ප්‍රකට විශේෂඥවරියක් වන ආචාර්ය ආශා ද වොස්, X-Press Pearl ව්‍යසනය ගැන “වාරකන්” කතාවක් කිවුවේ ඇයි කියන එක අදටත් නොවිසඳුණ රහසක්. නැව ගිනි අරගෙන, සිය ගණන් කැස්බෑ මළ සිරුරු වෙරළට ගොඩ ගහද්දීත් බීබීසී සංදේශය වෙනුවෙන් මම විමසීමක් කළාමත් ඇය කිවුවේ “සරෝජ් අපි තවමත් වැඩි විස්තර දන්නේ නෑනේ මේකට හේතුව මොකක්ද කියල, තව ටික දවසකින් බලමුද?” කියල. ඇත්තටම ඇයගේ ප්‍රතිචාරය ගැන මට පුදුම හිතුණ. ආශා ද වොස් සාමාන්‍ය පුරවැසියෙක් නෙවෙයි, මේ විෂය ගැන හොඳින්ම දන්නා කෙනෙක්. ව්‍යසනයෙන් වුණ හානිය තක්සේරු කරන්න මීපා ආයතනය පත්කරපු කමිටුවෙනුත් ටික දවසකට පස්සේ ඇය ඉල්ලා අස්වෙලා තිබුණ.

| මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර
| මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

ලංකාවේ සමුද්‍ර ජීවීන් ගැන කියද්දී මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරත් අනිවාර්යයෙන් මතකයට එන ප්‍රධානම චරිතයක්. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය වෙලාවේ වගේම නිව් ඩයමන්ඩ් ගින්න වෙලාවෙත් ඔහු මීපා (සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය) ආයතනයේ CEO විදියටත් සේවය කළා. ඒත් මහාචාර්ය අජිත් ද අල්විස්, මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන, මහාචාර්ය රුචිරා කුමාරණතුංග, මහාචාර්ය මෙත්තිකා විතානගේ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 40 කට වැඩි පිරිසක් තමන්ගේම වියදමින් මේකට මැදිහත් වුණත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කරපු ප්‍රබල මැදිහත්වීමක් මම කිසි තැනක දැක්කේ නැහැ. විමර්ශනයට අදාලව මහාචාර්ය ටර්නිගෙනුත් අහල බලන්න කියල මට උපදෙසක් ලැබුණ නිසා ගිය අවුරුද්දේ දවසක මම ඔහුට කතා කළා. ඒත් මගේ විමර්ශනයට ඔහුගෙන් මට කිසිම සහයක් හෝ උපදෙසක් ලැබුණේ නැහැ. ඔහු මම කියපු දේ අහගෙන ඉඳල පස්සේ කතා කරමු කියල නිහඬ වුණා.

(මේ සටහන මට මේ මොහොතේ මතක්වෙන චරිත කිහිපයක් ගැන පමණයි. අවධානයට ලක්විය යුතු තවත් අය ඉන්නව නම් කියන්න)

- සරෝජ් පතිරණ
– සරෝජ් පතිරණ

2025 අගෝස්තු 06

Leave A Comment