
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
- Sujeewa Senerath
- August 1, 2025
- අධ්‍යාපන, පුවත්
- education
- 0 Comments
ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ, සංස්කෘතික උරුම සංරක්ෂණය සඳහා කැපවී සිටින ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය (Heritage Alliance Lanka – HAL), යෝජිත 2026 පාසල් විෂය මාලා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් ප්‍රවේශයක් සහ අර්ථවත් මහජන සංවාදයක් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත සිය ස්ථාවරය පිළිබඳ විධිමත් ප්‍රකාශයක් (Position Statement) ඉදිරිපත් කර තිබේ.
ඉදිරිගාමී, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා එහි වැදගත්කම හඳුනා ගනිමින්, ජාතික විෂය මාලාව නවීකරණය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති මුලපිරීම හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගය කොට ඇත. කෙසේ වෙතත්, ඉතිහාසය විෂයයක් ලෙස පවතින තත්ත්වය, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික (Senior Secondary) වසරවල පොදු මූලික විෂය මාලාවෙන් (Common Core Curriculum) එය ඉවත් කිරීම සහ පොදු මූලික විෂය මාලා විෂයයන් හා සසඳන විට එහි අඩු ක්‍රෙඩිට් අගය පිළිබඳව එම සංවිධානය කනස්සල්ල පළ කර තිබේ. හුදෙක් විෂයයක්ම පමණක් නොව ජාතික අනන්‍යතාවයේ, විවේචනාත්මක චින්තනයේ, සහ සිවිල් අවබෝධයේ පදනම වන ඉතිහාසය, යෝජිත ආකෘතිය යටතේ බොහෝ සිසුන් සඳහා ජාතික වශයෙන් ඇගයීමට ලක් නොවනු ඇති බවටද හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය කනස්සල්ල පළ කොට ඇත.
ඉහළ ආදායම් ලබන රටවල් සහ නැගී එන ආර්ථිකයන්ද ඇතුළුව, ලෝකයේ විවිධ රටවල පාසැල් වල ඉතිහාසය උගන්වන සහ ඇගයීමට ලක් කරන ආකාරය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කර ඇති හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය, ඉතිහාස විෂය දැනට පවතින ආකෘතියෙන් බැහැරව සංස්කෘතික, දේශපාලනික, සහ සමාජීය වෙනස්කම් රටා, සිවිල් වටිනාකම්, සහ ජාතික තීරණ ගැනීමට උපකාරී වන උගත් පාඩම් ආදී නව අන්තර්ගතයන් සහ නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් සමඟ ක්‍රියාත්මක කළහොත්, එම විෂය සිසුන්ට ආශ්වාදජනක විෂයක් වනු ඇති මෙන්ම, වත්මන් රජයේ දැක්ම වන ස්වාධීන සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමටද උපකාරී වනු ඇති බවට විශ්වාසය පළ කරයි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පත පොදු ජනතාවගේ දැන ගැනීම උදෙසා ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා ඇති හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය, එම ප්‍රතිසංස්කරණ ඉදිරියට හැඩගැස්වීමේදී සංවාද හවුල්කරුවෙකු ලෙස තම සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කොට ඇත. අධ්‍යාපන ක්ෂේත්රයද ඇතුළුව විවිධ ක්ෂේත්‍ර වල දශක ගණනාවක වෘත්තීය පළපුරුද්දක් ඇති, රටවල් 16 ක් පුරා පැතිරී සිටින වෘත්තිකයන්ගෙන් සමන්විත සාමාජිකත්වයකින් සැදුම්ලත් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය, එකම ජාත්‍යන්තර ශ්‍රී ලාංකික උරුම සංවිධානය ලෙස අර්ථවත් අධ්‍යාපන ප්රතිසංස්කරණයක් උදෙසා සිය පූර්ණ කැපවීම ප්‍රකාශ කොට සිටියි.