අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා මංගල විජේසිංහ
- 5opn1
- November 1, 2024
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.
ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර්මික ඉංජිනේරු සහ විදුලි සංදේශ ආදී කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවකට විහිදුනු සිය දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ, එම සෑම ක්ෂේත්රයක්ම මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ව්‍යාපාර වර්ධනයට ඇති හැකියාව ඔහු මැනවින් ප්‍රදර්ශනය කර තිබේ.
බ්‍රවුන්ස් සහ සමාගමේ ඖෂධ, පාරිභෝගික සහ ඒකාබද්ධ ඉංජිනේරුමය විසඳුම් අංශයන්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සිය වර්තමාන භූමිකාව යටතේ මංගල විජේසිංහ මහතා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම පෙළක් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරමින් විවිධාංගීක ජාත්‍යන්තර සැපයුම්කරුවන් පෙළක් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට සමත්වී ඇත. අඩු ක්රියාකාරීතත්වයක් සහිත ව්‍යාපාර පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් කෙටි කාලයක් තුළ ඒවා ලාභදායීත්වය කරා මෙහෙයවීම සඳහා වූ සිය කීර්තිනාමය තුළින් ඔහු ව්‍යාපාරික ප්‍රජාව තුළ පුළුල් පිළිගැනීමක් හිමිකරගෙන තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සිය සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින් මංගල විජේසිංහ මහතා, මෙරට අපනයන ක්ෂේත්රයේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා වූ සිය උපායමාර්ගික දැක්ම ඉදිරිපත් කළේය. 1977 වසරේ නිදහස් වෙළෙඳ ආර්ථිකය මෙරටට හඳුන්වා දුන් දා පටන් අඛණ්ඩව පවතින වෙළෙඳ හිඟය සිහිපත් කළ මංගල විජේසිංහ මහතා, ශ්‍රී ලංකාවේ අපනයන කළඹ විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව රෙදිපිළි සහ තේ වැනි ප්‍රධාන ක්ෂේත්‍ර මත තවදුරටත් රඳා පවතින බව ඔහු පෙන්වා දුන්නේය. දිගුකාලීන තිරසර වර්ධනයක් සහතික කරලීම සඳහා ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා ඖෂධ ඇතුළු අධි තාක්ෂණික කර්මාන්තවල ආයෝජනය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරනු ලැබීය. සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල සාර්ථකත්වය පිළිබඳ සඳහන් කල මංගල විජේසිංහ මහතා ගෝලීය වෙළෙඳපොළට තරඟකාරිත්වයෙන් පිවිසීම සඳහා ශ්‍රී ලංකාව නවෝත්පාදන මත පදනම් වූ ක්ෂේත්‍ර වෙත උපායමාර්ගික ලෙස යොමුවිය යුතු බව පෙන්වා දුනි.
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ කැපී පෙනෙන හැකියාවන් පිළිබඳව අවධානය යොමු කළ මංගල විජේසිංහ මහතා එහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ සැපයුම් අංශ පිළිබඳ විශේෂයෙන් සඳහන් කළේය. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ශ්‍රී ලංකාව සේවා අපනයනයන්හී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇති අතර නව ජනාධිපතිවරයාගේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය අනුව යමින් මෙරට සිටින 85,000 කට අධිකතොරතුරු තාක්ෂණ වෘත්තිකයන් උපයෝගී කරගනිමින් වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවා අපනයන ආදායම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමට රජය කැපවී සිටින බව ඔහු යළි අවධාරණය කළේය. අවශ්‍ය සම්පත් සැපයීම සහ ක්ෂේත්රයේ දැනුවත් කිරීම් තුළින් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ නොමඳ සහයෝගය ලබා දෙන බවට ඔහු සහතික විය.
| තුෂල් විතානගේ (ගොවිමිණ)