ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී (EDB) එක්වෙති

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාව සදහා එක්වූහ.

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සැසිය ආරම්භ කරමින් තීරු බදු අභියෝගයට මුහුණදීම සදහා අපනයන කර්මාන්තයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක ඇති වැදගත්කම අවධාරණය කළේය. ඇමෙරිකානු තීරු බදු බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්ති  සහ සහාය යාන්ත්‍රණය පිළිබඳ රජයේ ප්‍රධාන ලේකම්වරුන් තිදෙනෙකුගේ උපාය මාර්ගික දේශන මෙම සාකච්ඡාවේ විශේෂ අංගයක් විය.

මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම අභියෝගකාරී කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක්වූ අපනයනකරුවන්ට සහාය වීම සඳහා රජයේ මූල්‍ය උපාය මාර්ගය පිළිබඳව වැදගත් අවබෝධයක් ලබා දුන්නේය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය කාර්මික අනුවර්තන උපාය මාර්ග සහ නවෝත්පාදන පිළිබද විශේෂ අවබෝධයක් ලබාදුන් අතර වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්ද්‍රරාජා මහතා ක්ෂණික හා දිගුකාලීන වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිචාර පිළිබද අදහස් දැක්වීය.

මෙම සාකච්ඡාවේ විශේෂ අංගයක් වූයේ “නව ඇමෙරිකානු තීරු බද්ද යටතේ ශ්‍රී ලංකාවට ඇති වෙළඳපල අවස්ථා” පිළිබඳව වෙළඳපල සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ සෞම්‍යා කන්නන්ගර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පුළුල් ඉදිරිපත්කිරීමයි. මෙම ඉදිරිපත්කිරීම ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට නව වෙළඳපල අංශ සොයාගැනීම, විකල්ප වෙළඳ උපාය මාර්ග සකස් කිරීම සහ ඇමෙරිකානු වෙළඳපල මත යැපීම අඩු කිරීම සඳහා තම අපනයන විවිධාංගීකරණය කිරීමේ හැකියාව පිළිබද ඉදිරිපත් කළාය.

අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා සහ ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ද සැලකිය යුතු කාලයක් වෙන් කරමින් අපනයන කරුවන්ට නිශ්චිත ගැටළු මතු කිරීමට, ප්‍රායෝගික අත්දැකීම් බෙදාගැනීමට සහ නව්‍ය විසඳුම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

20% ඇමෙරිකානු තීරු බද්ද හුදෙක් බාධාවක් ලෙස නොසලකා වෙළඳපල විවිධාංගීකරණය, නිෂ්පාදන නවෝත්පාදනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ තරඟකාරිත්වය පවත්වාගැනීම සඳහා අගය එකතු කිරීමේ උපාය මාර්ග පිළිබදව මෙහිදී අවධානය යොමුවිය.

අඛණ්ඩ සංවාද, පසු විපරම් රැස්වීම් සහ තීරු බදු සීමාවන්හි ක්ෂණික බලපෑම අවම කරමින් යුරෝපීය, ආසියානු සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපලවල නැගී එන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම ද සාකච්ඡා කරන ලදි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදිනී මුදලිගේ මහත්මිය, අනෙකුත් අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන්, අපනයන නිෂ්පාදන සංගම් නියෝජිතයන්, වාණිජ මණ්ඩල නියෝජිතයන්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුලු පිරිසක් මේ සදහා එක්වූහ.

Leave A Comment