ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා – අමාත්‍ය විජිත හේරත්

රටක් විදිහට ගත්තොත් අද ඔබ කවුරුත් දන්නවා රට ආර්ථික වශයෙන් ඉතාම අමාරු තැනක තියෙන්නේ, ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා. එහෙමනම් අපි හැමෝටම අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා මේ වැටිච්ච තැනින් නැගිටලා මේ රට ගොඩගන්න.

2025 වසරේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැඩ රාජකාරි ඇරඹීමේ උත්සවය අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ නිලධාරින් අමතා ප්‍රකාශ කරන ලදි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ , අද අලුත් දවසක් උදාවෙනවා. අලුත් අවුරුද්දක් උදාවෙනවා. අලුත් අවුරුද්දක්, අලුත් දවසක් උදාවෙනවා කියන්නේ අපේ ජීවිතයේ අලුත් ලබාපොරොත්තුවක් ඇති වෙනවා. පෞද්ගලිකව අපි හැමෝටම ජීවිතයේ සිහින තියෙනවා. ඒ සිහින හැබෑ කරගන්න අපි හැමෝටම පෞද්ගලික ඉලක්කයන් තියෙනවා. ඒ නිසා මේ උදාවෙච්ච අලුත් අවුරුද්දේ පළමුවෙන්ම අපි තමන්ගේ පෞද්ගලික ජීවිතයේ වඩාත් සාර්ථක ජීවිතයක් බවට පත්කරගන්න, ජීවිතය අලුත් කරගන්න අධිෂ්ඨාන කරගමු. ඒ වගේම අපි හැමෝටම රාජකාරීමය ජීවිතයක් තියෙනවා.  ඒ රාජකාරීමය ජීවිතයේත් අලුත් බලාපොරොත්තු, අනාගත සිහින රාජකාරීමය වශයෙන් අපිට තියෙනවා. ඒ නිසා අපේ රාජකාරී ජීවිතයේ ඒ බලාපොරොත්තුව ඒ අනාගත සිහිනය සැබෑ කරගන්න අපි අධිෂ්ඨාන කරගතයුතු වෙනවා.

ඒ වගේම රටක් විදිහට ගත්තොත් අද ඔබ කවුරුත් දන්නවා රට ආර්ථික වශයෙන් ඉතාම අමාරු තැනක තියෙන්නේ. ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා. එහෙමනම් අපි හැමෝටම අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා මේ වැටිච්ච තැනින් නැගිටලා මේ රට ගොඩගන්න. රට ගොඩනැගීමේ සිහිනය අපි හැමෝම තුළ තිබිය යුතු වෙනවා. පුදිගලික ජීවිතයේ සිහින වගේම රාජකාරී ජීවිතයේ සිහින වගේම රට පිළිබඳ අනාගත සිහිනයත් සැබෑ කරගැනීමේ අධිෂ්ඨානය අපි සියලුදෙනා තුළම තියෙනවයි කියන එක මම දන්නවා. එහෙමනම් ඒ අනාගත සියලු සිහින සැබෑ කරගැනීම සඳහා වෙච්ච ධෛර්‍යමත්, ශක්තිමත් නව ගමනකට අද අපි පා තබන්න ඕනා. අන්න ඒක තමයි 2025 අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න අපි සූදානම් වෙනවා කියලා කියන්නේ. එතනදි විදේශ අමාත්‍යාංශය විදිහට අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා.

මේ ආර්ථිකය කඩන් වැටිච්ච නිසා තමයි අපිට, රටට විදේශ විනිමය උපයන්න ඉක්මන් ක්‍රියාමාර්ගවලට යන්න වෙලා තියෙන්නේ. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවානම් වඩාත්ම තිරසර ක්‍රමවේදය තමයි නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් මේ රට තුළ ස්ථාපිතකරණය කිරීම. ඒකට යම් කාලයක් යනවා. ඒ නිසාම මේ තියෙන තත්ත්වයෙන් යම් ප්‍රමාණයකට එළියට එන්න මේ ආර්ථිකය කළමණාකරනය කරගන්න ක්‍රමවේදයන් අවශ්‍ය වෙනවා. ඒ ක්‍රමවේදයන් තමයි මේ දිනවල ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ.

ඒ වගේම අමාත්‍යාංශය විදිහට සංචාරක ක්ෂේත්‍රය, විදේශ රුකියා ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ අපිට හැකියාව ලැබුණා ගිය අවුරුද්දේ අවසන් වෙනකොට මිලියන 02ක ඉලක්කය සම්පූර්ණ කරන්න. ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. ඒ වගේම 2025 අවුරුද්දේ මිලියන 03ක් දක්වා මෙය වර්ධනය කරගැනීමේ ඉලක්කය, අධිෂ්ඨානය අපි සතුව තියෙනවා. ඒ සඳහා එය සමුපූර්ණ කිරීම අපි කාගේත් සාමූහික වගකීමක් වෙනවා. ඒ හරහා ඉක්මනින් විදේශ විනිමය අපේ රටට ලබාගන්න පුලුවන් කියන එක ඔබ දන්නවා.

ඒ වගේම විදේශ රැකියා ක්ෂේත්‍රය තුළින් විදේශ ප්‍රේෂණ ලබාගන්න අපි ඉලක්ක සහගත ගමනක් යනවා. නිෂ්පාදනය මත ආර්ථිකය ගොඩනගන්න යම් කාලයක් යන නිසා විදේශ ප්‍රේෂණවලින් අපේ විදේශ සංචිත ඉහළට ඔසවා තබලා ඒ අයගේ සුබසාධනයත්, ඒ අයගේ රැකියා සුරක්ෂිතතාවයත් ඒ වගේම රටක් විදිහට ආර්ථික වශයෙන් ගොඩ එන්න විදේශ ප්‍රේෂණ ලබාගැනීමේ ඉලක්කය අපිට තියෙනවා. ඒ සඳහාත් වූ නව ඉලක්කයන් මේ වසර සඳහා අපිට තියෙනවා.

ඒ වගේම තමයි අපේ ප්‍රධාන ඉලක්කය ආර්තිකය ශක්තිමත් කරලා අපි ස්වාධීන, ස්වෛරී ජාතියක් බවට පත්කිරීම. ආර්ථික වශයෙන් බංකොලොත් වුනාම අපිට අකමැත්තෙන් වුනත් ජාත්‍යන්තරය තුළ අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීභාවය ගැන හිතන ගමන් යම් යම් ක්‍රියාමාර්ගවලට යන්න වෙලා තියෙනවා. හැබැයි ආර්ථික වශයෙන් අපි ශක්තිමත්නම් අපි රටක් විදිහට අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීත්වය රැකගනිමින් අපිට ජාත්‍යන්තරය තුළ අභිමානවත්ව ශ්‍රී ලංකාව ඔසවා තබන්න පුලුවන්. ඒ නිසා විදේශ අමාත්‍යාංශය විදිහට මම මුලින් කිව්වා වගේ අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න මැදිහත් වෙනවා වගේම ඒ ආර්ථිකය ශක්තිමත්වීමේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ තුළ ශ්‍රී ලංකාව ස්වෛරී, නිදහස්, ස්වාධීන රටක් විදිහට කෙලින් හිටගන්න පුලුවන් තත්ත්වයක් අපි ඇතිකරගත යුතුයි. ඒක තමයි 2025 අපේ අනාගත ඉලක්කය වෙන්න ඕනේ.

එතනදි විදේශ අමාත්‍යාංශය කියලා කියන්නේ මම දකින විදහට අපි එක පවුලක්. එක පවුලක් විදිහට දෙමාව්පියෝ, දරුවෝ, අපි ඔක්කෝම එකට එකතුවෙලා මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න අපි හැමෝගෙම හිත් තුළ ධෛර්‍යයක්, ශක්තියක් තිබිය යුතුයි. ඒ නිසා අද උදෑසන අපි නව වසරේ වැඩ ආරම්භ කරනකොට එක පවුලක් විදිහට අපි හිතන්න පටන්ගමු. එක පවුලක් විදිහට තමන්ගේ පවුල ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් ගොඩනගන්න ඉලක්ක තියාගමු. ඒ ධෛර්‍යය තමන්ගේ හිතටගමු. ඒක බලහත්කාරයෙන් ඔබ මත පටවන එකක් විය යුතු නැහැ. අපි කාගේත් හෘදසාක්ෂියට එකඟව හදවතින්ම නැගෙන බලාරොත්තුවක් ඔබ සතුව තිබිය යුතුයි. එහෙම තිබුණොත් විතරයි අවංකව මේ වැඩේ අපිට සාර්ථකව කරගන්න පුලුවන් වෙන්නේ.

අපි විවිධ ජාතීන්ට අයිති වුනත්, විවිධ ආගම්වලට අයිති වුනත්, විවිධ දේශපාලන මතවලට අයිති වුනත් අපි එක රටක්, ශ්‍රී ලාංකීය ජාතියක්, එක පවුලක් අන්න එහෙම හිතලා අපි වැඩ කරමු. එක පවුලක් විදිහට වැඩ කරද්දි පවුලේ අභිවෘද්ධිය සඳහා යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා. දෙමව්පියන්ගේ පැත්තෙන් දරුවන්ට ඒ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා. සමහර තීන්දුවලට දරුවෝ කැමතියි. සමහර තීන්දුවලට සමහර වෙලාවට ටිකක් අකමැතියි. නමුත් ඒ තීන්දු ගන්නේ පවුලේ අභිවෘද්ධිය සඳහා. දෙමව්පියොත් එහෙම තමයි දරුවන්ට තරවටු කරන්නේ, අවවාද කරන්නේ පවුලේ අභිවෘද්ධිය සඳහා. යම් දවසක දරුවෝ තේරුම් ගන්නවා තාත්තා මට එහෙම කිව්වේ, එහෙම බැන්නේ මගේම හොදට කියලා. ඉතිං ඒ නිසා අපි පවුලක් විදිහට වැඩකරද්දි ඒක තේරුම් අරගෙන වැඩ කරමු. දෙමව්පියන්ගේ පැත්තෙන් අඩුපාඩු වෙනවානම් දරුවන්ටත් වගකීමක් තියෙනවා ඒ අඩුපාඩුව පෙන්වලා දෙන්න. ඒ අඩුපාඩුව නිවැරදි කරලා පවුල ඉදිරියට යන්න අවශ්‍ය කරන පියවර ගන්න. බොහෝ අවස්ථාවලදි අපේ දරුවෝ දෙමව්පියෝ විදිහට අපිට අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒ පෙන්වලා දෙන එක අපිට වඩා දියුණු තැනක ඉදලා පෙන්වලා දෙනවා. මේ නවීන ලෝකයේ නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපේ අලුත් පරම්පරාව, තරුණ පරම්පරාව අලුත් විදිහට හිතනවා. අලුත් දේ දකිනවා. එවැනි අවස්ථාවලදි ඔවුන් අපිට ඔවුන්ගේ අවබෝධය අනුව උපදෙස් දෙනවා. ඉතිං අපි ඒවා නිහතමානීව පිළිගන්න, බාරගන්න සූදානම් වෙන්න ඕනා. ඉතිං ඒ නිසා අපි සියල්ල දත්, සියල්ල පුලුවන් අය කියලා හිතන්නේ නැතුව ඇමතිවරු විදිහට අපිත්, නිලධාරි විදිහට, සේවකයෝ විදිහට ඔබත් එහෙම හිතන්න පුරුදු වුනොත්, එහෙම වැඩ කරන්න පුරුදු වුනොත් අපිට මේ ගමන ජයග්‍රාහී ගමනකින් කෙලවර කරන්න පුලුවන්.

ඉතිං මේ මූලික කරුණු ටික අපි අවධාරණය කරගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය, අපේ සංචාරක ක්ෂේත්‍රය, විදේශ රැකියා ක්ෂේත්‍රය අපි සියලු දෙනාම එකට  එකතුවෙලා එක පවුලක් විදිහට අනාගත රටේ අභිවෘද්ධිය සඳහා මෙහෙයවන්න ශක්තිමත්ව, ධෛර්‍යයමත්ව, බලාරොරොත්තු සහගතව ඉදිරියට යමු. අන්න ඒ වෙනුවෙන් ඔබ සියලුදෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්‍යය ලැබේවා ඒ සඳහා මේ උදා වූ නව වසර අපේ පෞද්ගලික, රාජකාරීමය මාතෘ භූමියක් විදිහට අපි සියලු දෙනා සතු ඒ අනාගත සිහින සැබෑ කරගන්න ඔබ සියලුදෙනාටම ශක්තිය ධෛර්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලුදෙනාටම සුබම සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා සියලුදෙනාටම ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්ථනා කරමින් මා නතර වෙනවා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, අමාත්‍යංශ ලේකම්තුවරිය, අතිරේක ලේකම්වරු, අංශ ප්‍රධානීන් ඇතුළු අමාත්‍යංශයේ නිලධාරින් උත්සවයට සහභාගී වූහ.

Leave A Comment