ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ දී යාත්‍රා 2ක් සමඟ කෝටි 750ක අයිස් කිලෝ 500ක් අල්ලයි
- 5opn1
- November 30, 2024
- දේශපාලන
- ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ දී යාත්‍රා 2ක් සමඟ කෝටි 750ක අයිස් කිලෝ 500ක් අල්ලයි
- 0 Comments
ශ්‍රී ලාංකිකයන් 9ක් නාවික හමුදාවට භාර දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරු මත ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ සිදු කරන ලද මෙහෙයුමකින් බහුදින යාත්‍රා දෙකක් පරීක්ෂාවට ලක්කර සොයාගත් රුපියල් කෝටි 750කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සමඟ අල්ලාගත් ශ්‍රී ලාංකිකයෝ 09ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව ඊයේ (29) භාර දී තිබේ. ඉන්දියානු නාවික හමුදාව එම බහුදින යාත්‍රා දෙකද භාර දී ඇති අතර එම යාත්‍රා ද සමඟ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රාකරමින් තිබුණු මෙම යාත්‍රා දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් තොරතුරක් මත පසුගිය 24 සහ 25 යන දෙදින තුළ කළ මෙහෙයුමෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සමඟ සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය පවා ඊයේ වන විට තොරතුරු වාර්තා කර තිබුණි.
අත්අඩංගුවටගත් සැකකරුවන් මෙන්ම මෙහෙයුමේ ඡායාරූප ද ඉන්දියානු නාවික හමුදාව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළේය. එහිදී එක් යාත්‍රාවක් පරීක්ෂාවට ලක්වී ඇත්තේ අරාබි මුහුදු සීමාවේදී වන අතර අනෙත් යාත්‍රාව පරීක්ෂාවට ලක්ව ඇත්තේ ඉන්දියානු මුහුදු සීමාවේදීය. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 ප්‍රවාහනය කරමින් තිබී ඇතැයි පැවසෙන්නේ අරාබි මුහුදු සීමාවේදී පරීක්ෂාවට ලක්කෙරුණු යාත්‍රාවේ වන අතර ඉන්දියානු මුහුදු සීමාවේදී පරීක්ෂාවට ලක්වූ යාත්‍රාවේ සිටි පිරිස ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව එම යාත්‍රාවේ සිටි පිරිසද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මෙම මෙහෙයුම සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ නියමුවන් රහිත ගුවන් යානා, අති නවීන දිගු දුර සමුද්‍ර මුර සංචාර ගුවන් යානා ද භාවිත කරමින් පුළුල් නිරීක්ෂණයක් සිදුකර මෙම වැටලීම සිදුකර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය තොගය තිබී ඇතැයි පැවසෙන්නේ ‘ප්‍රමිත්’ නැමැති බහුදින යාත්රාවේය. මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබුණේද නැතිනම් වෙනත් රටකට රැගෙන යමින් තිබුණේද යන්න මෙතෙක් පැහැදිලිව තොරතුරු හෙළිවී නැත. සැකකරුවන් ගොඩබිමට රැගෙන ආ පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී ඒ බව හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරයි.
මාලදිවයින් මුහුදු සීමාවේදීද ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් තොරතුරකට අනුව පසුගිය සතියේදී මාලදිවයින් නාවික හමුදාව විසින් අශේන් පුතා නැමැති ශ්‍රී ලංකීය බහුදින යාත්‍රාවක් එහි සිටි 05 දෙනෙක් සමඟ කොටුකර ගන්නේ රුපියල් කෝටි 888කට අධික වටිනාකමක් ඇති කොකේන් කිලෝ 124ක් සහ අයිස් කිලෝ 344ක් සමගිනි. එම සැකකරුවන් මේ වන විට මාලදිවයින බන්ධනාගාරයක රඳවා සිටිති.
ගයාන් කුමාර වීරසිංහ රක්ෂණ ශ්‍රියන්ත