උත්තරයක් විය යුතු විපක්ෂය ප්‍රශ්නයක් වීම
- 5opn1
- January 17, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- weekly political analyzes
- 0 Comments
යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට වඩා ප්‍රබන්ධයකට සමීපද යන්න වෙනම ප්රශ්නයකි. වැදගත් වන්නේ, එවැනි ධාරණාවක් ජනතා සිත්සතන් තුළින් ඕනෑම මොහොතක මතු කරගැනීමට ඇති ශක්‍යතාවයි.
මෙවර අයවැයෙන් මීට කලින් වසරවලටත් වඩා මුදල් ප්‍රමාණයක් ආරක්ෂක අංශ සඳහා වෙන් කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ බිය ඒ තරමට තවමත් ජීවමානයි. ‘අවසාන දෙමළාගේ හමෙන් හැදූ සපත්තුවක් පය ලන තෙක් නින්ද යන්නේ නැතැ’ යි කී දකුණේ සිංහල මන්ත්‍රීවරයෙකු වන කේ. එම්. පී. රාජරත්න වැඩි කාලයක් ජාතිවාදයෙන් වැජඹුණේ නැත. නීතිඥයෙකු වශයෙන් පසු කලෙක අලුත්කඩේ උසාවි සංකීර්ණයේ කොරිඩෝවේ යම් තැනක කබල් පුටුවක වාඩි වී නඩු ‘හිඟාකන’ සිනාව දාගෙන ඔහු සිටිනවා කෙනෙකුට දැකගත හැකි විය. ඒ ඔතෑනි ජාතිවාදයේ හරය යුද්ධය විසින් විශාල විපර්යාසයකට ලක්කර තිබේ. අදත් ගම්මන්පිල හෝ විමල් වීරවංශ වැනි කෙනෙකුට තවත් දොස්තර සාෆි කෙනෙකු ගැන හිනාවෙවී කතා කළ හැකිය. රාජරත්නට නොතිබුණු මාධ්‍ය කැමරා සමග ප්‍රචාරණ යාන්ත්‍රණයක වාසිය මේ පිරිසට තිබීම ඔවුන්ගේ කර්තව්‍යය තවත් පහසු කර තිබේ. ලැව්ගින්නකට සුළං අවශ්‍ය කෙරේ. රූපකාත්මකව ගත්තොත්, හොලිවුඩ් සිහින පුරවරය විනාශ කෙළේ ගින්න නොව, සුළඟයි.
ජාතික ප්‍රශ්ණය
ජාතික ප්රශ්නය තිරසාරව විසඳන තෙක් මේ සුළඟෙන් අප පරිස්සම් විය යුතුය. ජාතිවාදය නමැති කාරණය ආර්ථික සහ දේශපාලනික සාධකවලට සපුරා ඌනනය කිරීම සමග අපේ එකඟත්වයක් නැතත්, ආණ්ඩුවක දේශපාලනික/ආර්ථික අසාර්ථකත්වයක්, ජාතිවාදී වේශයකින් හිස එසවීමේ අවකාශයක්, ප්රතිගාමී කඳවුර පැත්තෙන් නිර්මාණය වීමේ විභවය ඇති බව අප පිළිගත යුතුය. 2015-2019 යහපාලන ආණ්ඩුවේ සාමාන්‍ය අසාර්ථකත්වයක් සුවිශේසී අසාමාන්‍යයක් බවට පත්කෙළේ, අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී කල්ලියක සේවය තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට ජාතිකවාදී කඳවුර සමත් වීමෙනි. ගෝඨාභය රාජපක්ෂ රජ කරවීම සඳහා යොදාගැනුණේ ඒ මාර්ගයයි.
එකම සහනයකට ඇත්තේ එවැනි ජාතිවාදී හිස එසවීමකට වර්තමාන ආණ්ඩුව කිසිසේත් ඉඩ දෙන එකක් නැතැයි යන විශ්වාසය පමණි. එහෙත්, මෙම ආණ්ඩුවේ වෙනත් කටයුතු සම්බන්ධයෙන් මේ වන විට යම් අසහනයක් සමාජය තුළ මතුවෙමින් පවතී. ඒ සඳහා නිමිති වන ඇතැම් කරුණු යුක්තියුක්තයි. උදාහරණයක් වශයෙන්, එමිල් රන්ජන් ළමාහේවා නමැති හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට මේ රජයේ අධිකරණ ඇමතිවරයා අතින් සම්මානයක් පිරිනැමීමේ සිද්ධිය ගත හැකිය. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වැරදිකරු වූ ඔහු මරණ දණ්ඩනයට නියම විය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනයකින් ඔහු නිදහස් විය. වාර්තා වන අන්දමට, මේ පුද්ගලයාට තමන් අතින් සම්මානයක් පිරිනැමීමට මෙය අවස්ථාවක් වන බව ඇමතිවරයා දැන සිට ඇති බවක් නොපෙනේ. එහෙත් ඒ ‘නොදැනුවත්කම’ නිදහසට හේතුවක් නොවේ. අසෝක රන්වල කතානායක තනතුරට පත්කිරීමත් එවැනිම ‘නොදැනුවත්කමක්’ හේතුකොටගෙන සිදු වී ඇතත් මාලිමා නාමයට එයින් ඇති වූ හානිය සුළුපටු නොවේ. අනිත් අතට, මෙවැනි සාධාරණ පදනමක් නැති තවත් කරුණු මෙම ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බිඳවීම සඳහා ඇතැමුන් පාවිච්චියට ගනිමින් සිටින බවකුත් පෙනේ. මෑතකදී, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක් පිළිබඳ අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන ගියේ එවැනි අරමුණු පෙරදැරිවයි. මෙලෙසින්, සාධාරණ සහ අසාධාරණ නිමිති පදනම් කරගෙන මේ ආණ්ඩුවට එරෙහිව යම් අප්‍රසාදයක් ඇති වෙමින් තිබෙන බවක් පෙනේ.
ප්‍රගතිශීලින්ගේ වගකීම
ගිය වර මේ කොලමේ සඳහන් කළ එක් කාරණයක් වෙත නැවත යාමට කැමැත්තෙමි. එනම්, මොන හේතුවක් නිසා හෝ ප්රගතිශීලි ආණ්ඩුවක් පෙරළා දැමීමෙන් පසු බිහි වනු ඇත්තේ ඊට වඩා හොඳ ආණ්ඩුවක් නොව, ඊටත් වඩා පිරිහුණු, අන්ත දක්ෂිණංශික ආණ්ඩුවක් බවයි. දක්ෂිණාංශික ආණ්ඩුවක් පිරිහීමේ ප්‍රතිඵලයක් වශයෙන් පත්වෙන අලුත් ආණ්ඩුවක් සාමාන්‍යයෙන් ප්රගතිශීලී වන්නා සේම, ප්රගතිශීලි ආණ්ඩුවක් පිරිහීමට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අලුතෙන් පත්වෙනු ඇත්තේ, අන්ත ප්රතිගාමී දක්ෂිණාංශික ආණ්ඩුවකි. නාමල් රාජපක්ෂගේ සිට උදය ගම්මන්පිල දක්වා වන, මේ රට විවිධාකාරයෙන් නසරානි කළ නිඝණ්ටයන්ගේ වර්තමාන චණ්ඩි කතා දෙස බලන විට, මේ ආණ්ඩුව යම් ආකාරයක පරිහානියට පත්වෙයි නම්, එම අවදානමෙන් බේරාගැනීමේ සදාචාරමය වගකීමක්, ආණ්ඩුව සමග දෘෂ්ටිවාදීමය වශයෙන් මොන වෙනස්කම් තිබුණත්, ප්රගතිශීලි කොටස් වෙත පැවරෙන බව කිව යුතුය.
එහෙත් එය එසේම වේදැයි සැකයක් තිබේ. විවිධ හේතු නිසා, මේ ‘ප්රගතිශීලී’ යැයි ගැනෙන පිරිස් අතීතයේ අනන්තවත් අසාර්ථක වී ඇති හෙයිනි. ඒ නිසා, මෙවරත් සිය වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අසාර්ථක වූවොත් යන සැකය නිසාම, දෙවැනි විසඳුමක් ගැනත් සලකා බැලීම වටී. ප්‍රධාන විපක්ෂය වැදගත් වන්නේ එහිදී ය.
නිදහසේ පටන් පසුගිය වසර දක්වාම, පවතින ආණ්ඩුවක් පරාජය වන අවස්ථාවකදී ප්‍රධාන විපක්ෂය අලුත් ආණ්ඩුව බවට පත්වීම සාමාන්‍ය මාදිලිය විය. පළමු වරට, ගිය වසරේදී එම සම්ප්රදාය කැඩුණි. ප්‍රධාන විපක්ෂයට උඩින් තුන්වැනි බලවේගයක් බලයට පත්විය. රනිල් වික්‍රමසිංහ පිට පිට පරාජය වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඔහු නුසුදුස්සෙකු වන බවට සජිත් ප්‍රේමදාස එතෙක් කියමින් සිටි තර්කය වර්තමානයට අදාළ කළහොත්, තමා නායකත්වය දරණ ප්‍රධාන විපක්ෂයට උඩින් පැමිණි තුන්වැනි බලවේගයකට පරාජය වූ ප්‍රථම විපක්ෂ නායකයා තමා මිස වෙන කෙනෙකු නොවන බවත් සජිත් ප්‍රේමදාස ඔළුවට ගත යුතුය. ප්‍රශංසාවක් විලසින් නොවූවත්, රනිල් වික්‍රමසිංහ හැම විටම පරාජය වී ඇත්තේ බලගතු ආණ්ඩුවකට හෝ බලගතු ප්‍රධාන විපක්ෂයකට බව අමතක කළ යුතු නැත.
අප ඉහතින් කතා කරමින් සිටි අවදානම, එනම් මෙම ආණ්ඩුව යම් ක්‍රියා සන්තතියක් හේතුවෙන් අර්බුදයට ගියොත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ත දක්ෂිණාංශික, ප්රතිගාමී බලවේගයක් බලයට පත්වීම වැළැක්විය හැකි අතරමැද බළකොටුව වන ප්‍රධාන විපක්ෂය ඒ කාර්යය සඳහා මොන තරම් ශක්තිමත්ද යන්න ඉදිරියේදී මතුවීමට ඇති බරපතළ ගැටළුවකි. මෙහිදී, එකී විපක්ෂ නායකයාගෙන්, නිකමට මෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. පාසල්වලට බස්රථ බෙදා දීමේ ව්‍යාපෘතිය දැන් ඔහු නතර කර ඇත්තේ ඇයි? ඊට කලින්, පන්සල්වලට රුපියල් 50,000 බැගින් බෙදාදීමේ ව්‍යාපෘතිය පසුව නතර කෙළේ ඇයි? හම්බන්තොට කාන්තාවන්ට (මගේ මතකයේ හැටියට) මහන මැෂින් ලබා දීමේ ව්‍යාපාරය පසුව නතර කෙළේ ඇයි? දාගැබ් පන්සීයක් ගොඩනැඟීමට ප්‍රතිඥා දුන්නේ ඇයි? එහිදී අපට පැමිණිය හැකි නිගමනය වන්නේ, ඒ සියල්ල අයත් වන්නේ, බලයට පත්වීම අරමුණු කරගෙන දියත් කරමින් සිටි ළදරු දේශපාලනයකට බවයි. එසේම, හිතූ තරම් ප්රතිලාභ ඉන් අත්වී නැති බව වටහාගත් විට ඒ ළදරු දේශපාලනය දැන් අතහැර දමා ඇති බවයි. එහෙත්, සියල්ලටම කලින්, එවැනි චර්යාවක් ‘දේශපාලනය’ වශයෙන් ගැනීමට, වඩාත් නිවැරදිව කිවහොත්, ‘මහපොළොවේ දේශපාලනය’ වශයෙන් ගැනීමට සජිත් ප්‍රේමදාස යොමු වුණේ කෙසේද? ඒ වනාහී, කතාවේදී ඔහු යොදාගන්නා අනවශ්‍ය නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ බහුල ව්‍යාජ විදග්ධ ආටෝපයේම අනිත් පැත්තේ නිරූපණයකි.
විපක්ෂ නායකයාගේ හැසිරීම
මා දන්නා තරමින්, ඔහු ජාතිවාදියෙකු නොවේ. එහෙත් සංස්කෘතිය යනු, සිංහල-බෞද්ධ සංස්කෘතිය යැයි තදින් හිසින් ගත් කෙනෙකි. ඒ සම්බන්ධයෙන් ඔහු නොදන්නා කාරණය වන්නේ, ඒ විෂයයේදී ඉතා පහසුවෙන් ඔහු පරාජය කිරීමට හැම හැකියාවක්ම රාජපක්ෂලාට සහ රාජපක්ෂලාගේ කඳවුරට ඇති බවයි. සංස්කෘතිය පිළිබඳ ඔහුගේ පටු අර්ථකථනය තුළ ‘සංස්කෘතික මිනිසාට’ තැනක් නැත. නතාෂා එදිරිසූරිය ඒක පුද්ගල ප්‍රසංගයකදී කළ එක්තරා ආගමික ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඇගේ කලා ප්රකාශනයේ නිදහස වෙනුවෙන් සහ එදා ආණ්ඩුවේ කලා/සංස්කෘතික මර්දනයට එරෙහිව විපක්ෂ නායකයා වශයෙන් වචනයක්වත් කීමට ඔහු ඉදිරිපත් වුණේ නැත. හේතුව, සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම, අනාගත රාජ්‍ය නායකයෙකු වශයෙන් තමා සමාදන්ව සිටිය යුතු ශීලයකැයි ඔහු සැලකීමයි. අවසානයේ, යුක්තිධර්මය ඉදිරියේ, එනම් අධිකරණයෙන් ඇයව නිfදාස් කොට නිදහස් කිරීමෙන් පසුවවත්, අවශ්‍ය අවස්ථාවේදී ඇය වෙනුවෙන් තමා මැදිහත් නොවීම, තමාගේ ‘ලිබරල්’ දේශපාලනයේ පුස්ස ඔප්පු කළ සිද්ධියක් වශයෙන් ඔහු සලකන්නට ඇතැයි මම නොසිතමි.
හාල් පොල් නැති වන විට ආණ්ඩු විරෝධයක් ජනතාවගේ පැත්තෙන් ඇති වීම යථාර්ථයක් වූවත්, හාල්-පොල් පොරොන්දු වන පක්ෂයක් බලයට පත්කිරීමට අද ජනතාව පෙළගැසෙන්නේ නැත. හඳෙන් හාල් ගෙනෙන පොරොන්දුවලට ඡන්දය පාවිච්චි කළ කාලය දැන් ඉක්ම ගොසිනි. ඇත්ත, තමන්ගේ ආගම සහ සංස්කෘතියට හානි පමුණුවන සිද්ධි සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජනතාව (හෝ වෙනත් ඕනෑම ජනතාවක්) අසහනයට පත්විය හැකිය. එහෙත් චෛත්‍යය පන්සීයක් කරවන පොරොන්දුව නිසා හෝ පන්සල්වලට රුපියල් පනස් දහසක් බෙදාගෙන ගිය පක්ෂයක් වූ පමණින් හෝ ජනතාව එම පක්ෂයට ඡන්දය දෙන්නේ නැත. මාලිමාව බලයට පත්වුණේ ඒ කිසිවක් නොකරමිනි. ඔවුන් මේ සා දැවැන්ත ආකාරයෙන් බලයට පත්වීමේ රහස කුමක්ද? ඔවුන් කෙරෙහි ජනතාව තුළ තිබූ විශේෂ විශ්වාසයකට වඩා, රාජපක්ෂ, වික්‍රමසිංහ සහ ප්‍රේමදාස නියෝජනය කළ දේශපාලනයේ ව්‍යාජය සහ බොරුව කෙරෙහි ඔවුන් තුළ ඇතිව තිබූ කෝපය සහ ජුගුප්සාව, ඉවසීමේ සීමාව ඉක්ම යාමයි.
මේ අවසාන වැකියෙන් කියැවෙන හරය, අනිත් පැත්තෙන් ගත් විට, මෙසේ ය: මාලිමා ආණ්ඩුවේ සංයුතිය පෙර නොවූ විරූවකි. එය පක්ෂ සභාගයක් නොව, ජනතා සභාගයකි. එහි හොඳ පැත්තක් සේම, නරක පැත්තක්ද තිබේ. හොඳ පැත්ත වන්නේ, පක්ෂ සභාගයක නැති අව්‍යාජත්වයක් එහි ගැබ්වීමයි. නරක පැත්ත වන්නේ, අසමාන සමාජ ස්ථර රාශියක්, ආණ්ඩුකරණ යාන්ත්‍රණයක් තුළ කළමනාකරණය කරගැනීමේ සහ හසුරුවාගැනීමේ ගැටළුවයි. අවුරුදු පහකට කලින් මේ ආණ්ඩුව ගෙදර යැවිය හැකි යැයි සිතීම සිහිනයක් පමණක් වන මුත්, පිපිරීම් සහ දෙදරීම් ඇති නොවෙතැයි කැට තියා කිව නොහැක. එවැනි ගැටුම් ඇති වනු ඇත්තේ, නියත වශයෙන්ම, මාලිමාව නමැති විසම සංයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි සිතිය හැකිය.
රාජපක්ෂලාගේ හැසිරීම
එවැනි තත්වයකදී, රාජපක්ෂලා නියෝජනය කරන ජාතිවාදී සහ ජාතිකවාදී ප්රතිගාමී බලවේග යළි හිස ඔසවනු ඇත්තේ, ප්‍රධාන විපක්ෂ නායකත්වයේ ‘අ-දේශපාලනය’ විසින් ඇති කරනු ලබන හිඩැස තුළිනි. එවැනි අයුතු වාසියකට ඉඩ නොතැබීමට නම්, බස් බෙදාදෙන, දාගැබ් ගොඩනඟන ළාමක දේශපාලනයෙන් කැඩී, මුහුකුරාගිය ලෞකික දේශපාලනයකට ප්‍රධාන විපක්ෂය විතැන් විය යුතුය. එහෙත්, මෙවර පරාජයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම සම්බන්ධයෙන් පවා එකී විපක්ෂය කටයුතු කළ ආකාරයෙන් නැවතත් ඔප්පු කර ඇත්තේ කුමක්ද? (පාර්ශ්වකාර පක්ෂවලට බෙදා දීමෙන් පසු) තමන්ගේ පක්ෂයට ඉතිරි වූ මන්ත්‍රී ධුර දෙකෙන් එකක්, පක්ෂ ලේකම්වරයා විසින් තමන්ටම පවරාගත්තේය. (අවශ්‍ය නම්, ටිල්වින් සිල්වා සමග එය සසඳන්න. එම සැසඳීම කඨෝර වැඩි නම්, සිලින්ඩරයේ සිටි දක්ෂයෙකු වන කංචන විජේසේකර වැනි කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දීම වෙනුවට, සිලින්ඩරය පෙනී සිටි පක්ෂයේ අයිතිකරුවා වන රවි කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත්වීම සමග සසඳන්න). අනතුරුව සජබයට ඉතිරි වූ අනිත් මන්ත්‍රී ධුරය, ඉරාන් වික්‍රමරත්න හෝ ඉම්තියාස් බකීර් මාකාර් වැනි, සමාජ පිළිගැනීමක් ඇති, නොකිළිටි සහ ප්රබුද්ධ පුද්ගලයෙකුට දීමට වඩා සුජීව සේනසිංහ වැන්නෙකුට ලබාදීම, ‘පට්ට දේශපාලනික’ යැයි විපක්ෂ නායකත්වය සිතීය!
මාලිමාව උත්සාහ කරන අලුත් සංස්කෘතිය ස්ථාපනය කිරීමට ආණ්ඩුව යම් හෙයකින් අසමත් වුවහොත්, විකල්ප ආණ්ඩුව වශයෙන් ජනතාව ඉදිරියේ තෝරාගැනීමට ඇත්තේ එවැනි විපක්ෂ භාවිතාවක්ද යන ප්රශ්නය රට ඉදිරියේ ඉතිරිව තිබේ. උත්තර පත්තරයක් විය යුතු විපක්ෂයක්, තවත් ප්‍රශ්න පත්තරයක් වීම තරම් අභාග්‍යයක් රටකට තිබිය හැකිද?
| ගාමිණී වියන්ගොඩ