එංගලන්ත යෝනෙක්ස් බැඩ්මින්ටන් තරගාවලියෙන් චන්ද්‍රිකාට රන් පදක්කම් 2ක්

107 වන යෝනෙක්ස් සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට (Yonex All England Seniors Badminton Championship) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා එහිදී රන් පදක්කම් 02 ක් දිනාගෙන ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

1919 වසරේ දී ආරම්භ කර ඇති මෙම තරගාවලිය ලෝක බැඩ්මින්ටන් ෆෙඩරේෂනයේ අධීක්ෂණය යටතේ එංගලන්ත බැඩ්මින්ටන් ආයතනය මගින් සංවිධානය කර තිබූ අතර, එය එංගලන්තයේ , හැට්ෆීල්ඩ් නුවර (Hatfield) ලෝකයේ රටවල් 15 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 50 න් ඉහළ කාන්තා කේවල තරගයෙන් සහ වයස අවුරුදු 45 න් ඉහළ මිශ්‍ර යුගල තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

මෙම ජයග්‍රහණයත් සමග එළඹෙන සැප්තැම්බර් මස තායිලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට චන්ද්‍රිකා ද සිල්වා සුදුසුකම් ලබා ගෙන තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

 

Leave A Comment