කොටි කඳවුරුවලින් සොයාගත් රන් ආභරණ ගැන වාර්තාවක් උසාවියට හා සීඅයිඩීයට ඉල්ලයි

ආභරණ තැන්පත් කර ඇති හැටි හා සීඅයිඩීයට භාරදෙන හැටි වීඩියෝ කිරීමටත් නියෝග
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මානුෂික මෙහෙයුමේදී උතුරු නැඟෙනිහිර එල්.ටී.ටී.ඊ. කඳවුරුවල සඟවා තිබියදී සොයාගෙන යුද හමුදා බුද්ධි බළකා මූලස්ථානයේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කොට ඇති රන් ආභරණ අයිතම් 10,000ක් කිරා බලා ඒවායේ බර හා අඩංගු රන් සංයුතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පිටපත් සහිතව ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (05දා) ජාතික ස්වර්ණාභරණ අධිකාරියට නියෝග කළාය.

එකී ස්වර්ණාභරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් එකී විමර්ශන සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. ජාතික ස්වර්ණාභරණ අධිකාරියට එක් දිනකට පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ අයිතම් 300කට ආසන්න ප්‍රමාණයක් බව එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එබැවින් එකී කටයුතු අවසන් වනතුරු නිශ්චිත නිලධාරීන් කණ්ඩායමක් නම්කරන ලෙසට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ලබාදෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එමෙන්ම එකී රන් ආභරණ තැන්පත් කොට ඇති ආකාරය හා පිටතට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදෙන ආකාරය වීඩියෝගත කිරීමට හා ඡායාරූපගත කිරීමට අවශ්‍ය කැමරා උපකරණ බුද්ධි අංශ මූලස්ථානය තුළට රැගෙන යෑමට විමර්ශන නිලධාරීන්ට අවසර ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම නියෝග ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය, ජාතික ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කොට කිරා බලනු ලබන රන් ආභරණ ආරක්ෂිතව තැන්පත් කර තබන ලෙසට ද ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළාය.

එමෙන්ම එකී විමර්ශන සඳහා එනම් රන් ආභරණ කිරා බැලීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම පළපුරුදු නිලධාරීන්ගේ සහාය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලංකා බැංකු සාමාන්‍යාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළාය. එකී රන් ආභරණ උතුරු නැඟෙනහිර පළාත්වල ජීවත්වූ ජනතාව ස්වෙච්ඡාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබාදුන්නේ ද නැතහොත් එම ත්‍රස්තවාදී සංවිධානය විසින් ඒවා ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබාගත්තේ ද යන කරුණු අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය විමර්ශන දියත්කොට ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය.

ඒ.ජේ.ඒ. අබේනායක

 

Leave A Comment