ජනපතිගේ තුන් වන විදෙස් සංචාරයෙන් රටට ලැබෙන්නේ මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස අද (පෙබරවාරි 10 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.

ජනාධිපතිවරයා මීට පෙර ඉන්දියාවේ සහ චීනයේ නිල සංචාරවල නිරත වූයේ එරට රාජ්‍ය නායකයින්ගේ ආරාධනාවලට අනුව ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් ගේ ආරාධනාවකට අනුව 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 10 වැනිදා සිට 13 වැනිදා දක්වා එරට සංචාරය කරනු ඇත.

ජනපති හමුවන රාජ්‍ය නායකයින් කවුද?

ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට නියමිතව ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමග අනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් හමුවීමට ද නියමිතව ඇත.

එමෙන්ම ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අයෝජන ආකාර්ෂණය කර ගැනිමේ අරමුණින් තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය, බලශක්ති, සංචාරක මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් ගණනාවක් සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

මෙරට අයෝජනයට උනන්දු එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AIAmeri) සහ මෙරට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අතර හමුවක් පසුගිය දා සිදුව තිබේ.

එම හමුවේදී තානාපතිවරයා මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ ආයෝජනය පිළිබඳව උනන්දුවෙන් පසුවන පැවසූ බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේය.

ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දී එම අයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට මෙන්ම විවිධ එකඟතා ඇති කර ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බවට ද තානාපතිවරයා විශ්වාසය පළ කර ඇත.

‘තුලනාත්මක බල සම්බන්ධයක ඉන්න ආණ්ඩුවේ නුවණක්කාර තීරණයක්’

බටහිර රාජ්‍ය, ඉන්දියාව සහ චීනය අතර තුලනාත්මක බල සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට උත්සාහ දරන වත්මන් ආණ්ඩුව එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීම නුවණක්කාර තීරණයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන බීබීසී සිංහල වෙත පැවසුවාය.

“UAE වලට යන එක නුවණක්කාර තීරණයක්. UAE ගොඩක් රටවල් එක්ක සහයෝගයෙන් කටයුතු කරන රටක්. විශේෂයෙන්ම ඇමෙරිකාවත් එක්ක විශේෂ සම්බන්ධතා තියෙනවා, නමුත් තමන්ගේ තෙල් සම්පත නිසා අනෙකුත් සෑම රාජ්‍යයක් එක්කම ඔවුන් උත්සාහ කරනවා සම්බන්ධතා පවත්වන්න.”

එමෙන්ම ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කරන බලශක්තිය හා තාක්ෂණික දියුණුව අතින් ගත් විට ද මෙම සංචාරය නුවණක්කාර තීරණයක් බව ආචාර්යවරිය කියා සිටියාය.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මෙරට ශ්‍රමිකයන් හට අලුත් රැකියා අවස්ථා ලබා ගැනිමේ හැකියාව සලකා බැලීම ද ඉතා වැදගත් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළාය.

| bbc/sinhala

Leave A Comment