ජාතික ජන බලවේගය ඉදිරියේ තිබෙන සැබෑ අභියෝගය ! මහාචාර්ය නවරත්න බණ්ඩාර.
- 5opn1
- December 1, 2024
- CNL සතියේ දේශපාලන විවරණය
- ජාතික ජන බලවේගය ඉදිරියේ තිබෙන සැබෑ අභියෝගය ! මහාචාර්ය නවරත්න බණ්ඩාර.
- 0 Comments
ලෝකය පසුගිය වසර හතලිහක කාලය තුළදී ප්‍රථම වතාවට ජාතිකවාදය සහ ගෝලීයකරණය විසින් ප්‍රවර්ධනය කරන වටිනාකම් පද්ධති අතර ගැටුමක් වෙතට ගෙන ගොස් තිබේ.
2022 මහජන නැගිටීම හෙවත් අරගලයේ සිට 2024 ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීම දක්වා කාලය ඇතුලත්වන්නේ මේ කාල පරිච්චේදයටය. මේ ලිපිය උත්සාහ කරන්නේ මෙරට ඇතිවූ මේ දේශපාලන පරිවර්තනය එම ලෝක සන්දර්භය තුළ තේරුම් ගැනීමට සහ එයින් මතුකරන අභියෝග හඳුනා ගැනීමටය.
සමහර සමාජ විද්‍යාඥයන් විසින් ජාතිකවාදය සහ ගෝලීයකරණය හඳුනාගෙන තිබෙන්නේ නූතන යුගය අර්ථ නිරූපණය කරන ප්‍රධාන ලක්ෂණයන් දෙකක් වශයෙනි (defining features).
ජාතිකවාදය – සරලව ගතහොත් තම ජාතිය කෙරේ ඇති බැඳීම සහ ආඩම්බරය ප්‍රකාශකරන න්‍යායවාදයක් වශයෙන් – පැන නැගුනේ ප්‍රංශ විප්ලවය අවස්ථාවේය. එතැන් සිට එය අද දක්වා වසර තුන්සීයකට වැඩිකාලයක් නූතන දේශපාලන කථිකාවන් සකස්වීමට බලපෑවේය. එය වෙස්ට්ෆේලියානු ගිවිසුම්වල නීති රාමුව විසින් ඉදිරිපත් කළ ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ මූල ධර්මවලට පණ පොවමින් ජාතික රාජ්‍යය පිළිබඳ මොඩලය ලොවට හඳුන්වා දුන්නේය. එදා ක්‍රියාත්මකවූ ගෝලීයකරණය (නූතන ගෝලීයකරණය යයි ඩේවිඩ් හෙල්ඩ් මෙය හඳුන්වයි) විසින් එය විශ්ව ව්‍යාප්ත රාජ්‍ය මොඩලය බවට පත් කළේය.
ජාතික රාජ්‍ය යුගයේදී රාජ්‍ය සමාජය ඉදිරියට ගෙන යාමට ජාතිය සහ පන්තිය යන ප්‍රපංච මුල්කරගත් ලිබරල්වාදය සහ මාක්ස්වාදය වැනි එකිනෙකට පරස්පර න්‍යායවාද මෙන්ම ඒවා අනුව යන දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන බිහිකරන ලද අතර ඒවා මගින් ගැටුම් මෙන්ම සම්මුතිකාමීවූ දේශපාලනයන්ද අනුගමණය කළ දේශපාලන ප්‍රභූ සහ නිර්ප්‍රභූ පන්තින් පැන නැගීමටද පදනම දමන ලදි.
නිදහස ලැබීමට ආසන්න කාලයේ සිට ලංකාවේ දේශපාලන කථිකාව හැඩ ගැස්වූයේ ජාතිකවාදී යුගයේ සංකල්පනාවන් මගිනි. එය මෙරටට පැමිණියේ ජනවාර්ගික ජාතිකවාදය සහ පන්ති අරගලය යන ප්රපංචයන් විසින් හසුරුවන ලද දේශපාලනයන් වශයෙනි. එකල අවධානය යොමුවූයේ ජාතික ස්වාධිපත්‍යය දේශපාලන වශයෙන් අත්පත් කර ගැනීමය. මේ නිසා ප්රජාතන්ත්රවාදී රජයනයක් තහවුරු කිරීමේ වගකීම මෙම දේශපාලනය අනුගමණය කළ සියලු පාර්ශව විසින් නොතකා හරින ලදි.
නිදහස ලැබීමෙන් පසුව සිංහල සහ දෙමළ දක්ෂිණාංශික නායකයන් ජනවාර්ගික ජාතිකවාදය ඉදිරියට දමා ගත් රාජ්‍ය ව්‍යාපෘති දෙකක් ප්‍රකාශයට පත් කරමින් තම ජනතාව දේශපාලනයට මෙහෙයවීම සිදුකරන ලදි. ඔවුන් දේශපාලනය ඒ අන්දමට මෙහයවනවිට වාමාංශික නායකයන් පන්ති අරගල දේශපාලනය එයට හරස්ව ඉදිරිපත් කළෝය.
දෙමගක ගියද මේ දෙපාර්ශවය දේශපාලන ස්වාධිපත්‍යය පෙරට දමාසම්මුතිකාමී දේශපාලනයකට එළඹීම හැටේ දශකයේ අවසානයේදී සිදුවිය. මේ සම්මුතියේ බලගතු ප්රථිඵලයක් වූයේ 1972 ව්‍යවස්ථාවයි. දක්ෂිණාංශික නායකයන් වාමාංශිකයන්ගේද සහයෝගයෙන් මෙම ව්‍යවස්ථාව මගින් තම රාජ්‍ය ව්‍යාපෘතිය නීතිගත කරමින් ජනවාර්ගික ව්‍යවස්ථා රජයනයක් (an ethnic constitutional order) ගොඩ නැගුවෝය. මෙම ව්‍යවස්ථා ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ බලය යෙදවීමට විධායක බලය අගමැති අතෙහි කේන්ද්‍රගත කරන ලදි. 1978 දී විධායක ජනාධිපති ධූරයක් ඇති කර එම බල මධ්‍යගතකරණය එහි මස්ථකප්ප්රාප්තියට ගෙන එන ලදි.
මෙම ව්‍යවස්ථා රජයනයේ මූලික ලක්ෂණය වන්නේ ප්රජාතන්ත්රවාදයට පටහැනි ආයතන දෙකක් පවත්වාගෙන යාමය. පළමුවැන්න ජනවර්ග ආධිපත්‍ය ක්‍රමයක් පවත්වා ගෙන යාමය. දෙවැන්න සර්වබලධාරීත්වය පිළිබිඹු කරන විධායක ජනාධිපති ධූරයය උත්කෘෂ්ඨතිවවට නැංවීමයි. එක් ජනවර්ගයක් රාජ්‍යය තුළ ප්‍රමුඛත්වය ලැබීම නීතිය මගින්ම තහවුරු කිරීම ජනවර්ග ආධිපත්‍ය ක්රමයේ ලක්ෂණය විය. මේ නිසා රාජ්‍ය ක්‍රමය විසින් බැහැර කරන ජනවාර්ගික ප්‍රජාවන් බෙදුම්වාදී දේශපාලනය වෙතට තල්ලු කරන ලදි.
එම ව්‍යවස්ථා රජයනය යටතේ අනිකුත් ජනවර්ගවල සාමාජිකයන්ට ප්රජාතන්ත්රවාදී සහභාගීත්ව අයිතිවාසිකම් නීතියෙන් ප්රදානය කළද දේශපාලන තීරණ ගැනීම සිදුවූයේ ජනවාර්ගික බහූතරයේ මතය අනුවය. විශේෂයෙන් සිංහල ජනවාර්ගික ජාතිකවාදය උත්සන්නවන අවස්ථාවලදී මැතිවරණවලදී තීරණාත්මක වූයේ ප්‍රධාන ජනවර්ගයේ අභිප්‍රායයි. අන්‍ය ජනවර්ග මෙම තීරණ ගැනීමට සම්බන්ධවන්නේ විධායක ජනාධිපති ක්‍රමය විසින් ප්රජාතන්ත්රවාදය අර්බූදයට ගෙනයනවිට එයට විරුද්ධව දෙපක්ෂයම එක්සත්වීම සිදුවන අවස්ථාවලදීය.
1994 සිට මේ අන්දමට ඇතිවන අනුදෝලනයක් continuum ආණ්ඩු වෙනස්වීම් සමග පිළිබිඹුවන්නට පටන් ගැනුනේය. එහි එක් අන්තයක තිබුනේ ජනාධිපති විධායකය බලවත් කරන ආණ්ඩු පිහිටුවීමය. එය සිදුවන්නේ සිංහල සමාජයේ ජනවාර්ගික ජාතිකත්වය අනාරක්ෂිත තත්වයට පත්වූයේය යන හැඟීම සිංහල ජනයා තුළ ඇතිවූ අවස්ථාවලය. මේ අන්දමට ජනාධිපති විධායකය බලවත්වන ආණ්ඩු ඇතිවූ ආකාරය 2005, 2009, 2019 සහ 2020 මැතිවරණවලදී දක්නට ලැබුනි.
එම අනුදෝලනයේ අනික් අන්තයේ තිබුනේ ජනාධිපති විධායකයේ බලය විසින් ප්රජාතන්ත්රවාදය හකුලුවනවිට බහූතර සහ සුලුතර ප්‍රජාවන් එක්සත්ව විධායක පාලනයට විරුද්ධව ප්රජාතන්ත්රවාදය රැක ගැනීට සැරසුනු ආණ්ඩු බලයට ගෙන ඒමය. ප්රජාතන්ත්රවාදය සඳහා එසේ එක්වීම 1994, 2015 සහ 2024 දක්වා මැතිවරණවලදී දක්නට ලැබුනි.
ගෝලීය ආයතනවල බලපෑම රාජ්‍ය ප්‍රතිපත්ති කේෂත්රයට පැමිණි සමකාලීන ගෝලීයකරණ යුගයේදී නව පසුබිමක් විවෘත කරන ලදි. එය නම් ඩිජිටල් අවකාශය විසින් වේගවත් කරමින් තිබෙන සමකාලීන ගෝලීයකරණය විසින් ජනාවාර්ගික සහ පන්ති දේශපාලනයෙන් ඔබ්බට බලන්නට සමාජයට මගපෙන්වන නව ක්‍රියාදාමයක් ඉදිරියට පැමිණිමය. එය සිදුවූයේ ප්රජාතන්ත්රවාදයට හිතකර සිවිල් සමාජ සංවිධාන මුල්කර ගෙනය. එම ක්‍රියාවලිය මානව අයිතිවාසිකම්, ස්ත්‍රීපුරුෂ සමාජ භාවය, පරිසරවාදය, මානවවාදය සහ සාම සංස්කෘතිය වැනි කථිකාවන් ප්‍රවර්ධනය කළේය. දේශපාලනය ජනවාර්ගිකහරණයට ලක් කිරීමත් සමාජය පන්ති සහ ජාතික දේශපාලනයෙන් වියුක්තවීමත් එම මතවාදයන් විසින් ඉල්ලා සිටින ලදි. කන්සර්වැටිව්වාදී බලවේග ඒවාට එරෙහිව ක්‍රියාකලද ඒවා විසින් ඉදිරිපත් කළ විශ්වීය මනුෂ්‍යභාවයේ වටිනාකම් ක්‍රමයෙන් සමාජගතවීම සිදුවිය.
විශ්වීය වශයෙන් සිදුවෙමින් පැවති ජාතිකවාදයේ යුගය සහ ගෝලීයකරණයේ යුගය එකිනෙක හරහා යමින් තිබෙන පරිවර්තන යුගය තුළට ලංකාවේ සමාජයද 1980 ගණන්වල සිට ඇතුල්වන්නට පටන් ගැනීම සමග මෙම ක්‍රියාදාමය විසින් ප්‍රවර්ධනය කළ වටිනාකම් සමාජ ගතවන්නට පටන් ගත්තේය. මානව වර්ගයා කෙරෙහි ඇති පොදු භක්තිය සමාජ ජීවිතයේ න්‍යාය පත්‍රය තූළට පැමිණීම නිසා ජාතිකවාදී යුගයේ වටිනාකම් යල්පැන යන්නට පටන් ගත්තේය.
පාලක ප්‍රභූන් ජනවාර්ගික ජාතිකවාදයන් යොදවා ගෙන දේශපාලන බලය මෙහෙයවීම තුළ පැවති වංචනික භාවය සමාජයට හෙළිදරව්වීම මේ කාල පරිච්චේදය තුළ නොවැළක්විය හැකි තත්වයක් බවට පත්විය. එය සිදුවන්නේ ජනවාර්ගික සහ පන්ති අරගල දේශපාලනය යටතේ අඛණ්ඩව සිදුවූ අර්බූද ගණනාවක් යටතේ දීර්ඝ ආතති තත්වයක් තුළ ගතකිරීමට සමාජයට සිදුවූ පරිසරය තුළය. කලාපීය සහ ජාත්‍යන්ත මිලිටරි මැදිහත්වීමක් සහිතවූ තිස්වසරක සිවිල් යුද්ධය මෙයට මුල පුරණ ලදි.අවසානයේ කොරෝනා වසංගතයද ආහාර ද්‍රව්‍ය හිඟයක් සමග ආර්ථික හා මූල්‍ය අර්බූදයක්ද ඇතිවිය.
සමාජයට දරා ගත නොහැකි පීඩනයක් සහ දීර්ඝ ආතති කාලපරිච්චේදයක් හරහා ගමන් කිරීමට සිදුවූ මෙම කාලපරිච්චේදය තුළ ජනයාට පෙනී ගියේ ජාතිකවාදී දේශපාලනයේ නිරර්ථක භාවයයි. එය පිටුපස පැවතියේ දේශපාලන ප්රභූන්ගේ ස්වයං අර්ථසාධන අපේක්ෂා බව ඔවුන්ට පෙනුනි. ‘සිස්ටම් චේන්ජ්’ යයි කියාගෙන බලයට පැමිණ සුපුරුදු වංචනික දේශපාලනයේ නිරතවූ ගෝටාබය ආණ්ඩුව ජනතා නැගිටීමකින් පලවා හැරීම සිදුවූයේ එම නිසාය.
සමාජය තුළ පැරණි දේශපාලනයට ඇති විරුද්ධත්වය සහ ගොලීය වශයෙන් ප්‍රවර්ධනය කරන වටිනාකම්වලට ඇති ලැදියාව “ජනතා අරගලය” තුළ ප්‍රකාශයට පත්විය. එදා ගෝටාගම තුළ ක්‍රියාත්මකවූයේ ජනවාර්ගික සහ පන්ති දේශපාලනය ප්රතික්ෂේපකරන විශ්වීය මනුෂ්‍යවාදය මත පදනම්වූ සිවිල් සමාජයකි. ගෝටාගම සමාජ ආකර්ශණය දිනා ගත්තේ එය ජාතිකවාදී යුගයේ කථිකාවන් ප්‍රතික්ෂේප කරමින් ගෝලීයකරණය සමග පැමිණි විශ්වීය ඇගයුම් මත ක්‍රියාත්මක වෙමින් ලංකාවේ ස්ථාපිත දේශපාලන ප්‍රභූ පන්තිය සහ ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියම ප්‍රතික්ෂේප කිරීම සිදුකළ නිසාය.
මේ ඇගයුම් සමග බැඳී ඉදිරියට පැමිණි රැඩිකල්වාදය නිවැරිදිව තේරුම් ගෙන ජනතාව තමන්වෙතට ආකර්ශණය කරගත්තේ ජාතික ජනබලවේගය විසිනි. ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘පුනරුද’ දර්ශණය මේ අවශ්‍යතාවයන් සමග සාකල්‍යයෙන් ගැලපුනේය. එහි ප්‍රතිඵලය වූයේ පසුගිය මැතිවරණ දෙකේදී, ස්ථාපිතව සිටි පාලක ප්‍රභූ පන්තිය එක මිටට ගෙන ඡන්ද බලය මගින් බලයෙන් පහකිරීමය. පන්ති සහ ජනවර්ග දේශපාලනය ප්රතික්ෂේපකරන එක්සත් භාවයක්, උතුරු නැගෙනහිර විශාල ඡන්ද ප්‍රතිශතයක් නොලැබුනද, උතුර-දකුණ, බස්නාහිර-නැගෙනහිර යන භූගෝලීය බෙදීම් පරයා ගොඩ නැගීමට එය සමත්විය.
රට මුහුණදී සිටින මූල්‍ය අර්බූදයෙන් ගොඩ ගැනීම ජාජබ ඉදිරියේ තිබෙන අභියෝගය බව බැලූ බැල්මට පෙනෙන කාරණයයි. එහෙත් එය ඉදිරියේ තිබෙන සැබෑ අභියෝගය එය නොවේ. සැබෑ අභියෝගය වන්නේ එය බලයට පැමිණීමට ඉදිරියට ගෙන එන ලද නව කථිකාව, මේ රටේ දේශපාලනය මෙහෙයවන මනෝභාවය බවට බවට පත් කිරීමය. මෙම මනෝභාවයේ මූලික ලක්ෂණය වන්නේ ජනවාර්ගික සහ පන්ති දේශපාලනයෙන් වියුක්තවීමය.
මෙරට බහූපක්ෂ ප්රජාතන්ත්රවාදය ජනවාර්ගික සහ පන්ති දේශපාලනයෙන් වියුක්ත එකක් බවට පත් කිරීමට අවශ්‍ය සාධනාත්මක පියවර ගන්නේ නම් මීළඟ දශක එකහමාර තුළ මෙරට දේශපාලන බලය මෙහෙයවන බලවේගය බවට පත්වන්නේ ජාතික ජන බලවේගය බව සඳහන් කළ යුතුය. මෙය නිසි ලෙස වටහාගෙන තමන් සතු බලය පාවිච්චිකරන නව පාලන සංස්කෘතියකට ඇතුල්වීම එහි සෑම මට්ටමකම නායකයන්ට පැවරෙන වගකීමක් බව සඳහන් කළ යුතුය. මෙතෙක් ක්‍රියාත්මකවූ අනුදෝලනය නිමාවට පත්කිරීම සදහා නව ව්‍යවස්ථා රජයනයක් ගොඩ නැගීම ඉලක්කය විය යුතුය.
එය අනිත් දේශපාලන කණ්ඩායම්වලටද අදාලය. මෙම නව දේශපාලන සංස්කෘතියට අනුගතවන දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන්ට ඉදිරියේද්රි දේශපාලන කේෂ්ත්‍රයේ පැවතීමට නොහැකිය.
ජනතාව විශේෂයෙන් තරුණ ජනයා අපේක්ෂා කරන්නේ පූර්ණ වශයෙන් ඩිජිටල් පුරවැසිභාවය අත්කර ගැනීමට මිස ජනාවාර්ගික හෝ ජාතිවාදී දේශපාලන මඩ ගොහොරුවේ ගිලී සිටීමට නොවන බව සඳහන් කළ යුතුය.