ජාතික රූපවාහිනියේ නව සභාපති තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා (26) දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබද  වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂේත්‍රයන්හි ඒ මහතා හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ තුලින් බලපෑම්කාරී සන්නාම දියත් කිරීම පිළිබඳ හසල අත්දැකීමක් අත්පත්  කර ගෙන ඇත.

කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

තම ආයතනික සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ  ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ද ගිහාන් ද සිල්වා මහතා කටයුතු කරනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි , පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ (පරිපාලන) නීලකාන්ති විජේකෝන් යන මහත්ම මහත්මියෙන් ඇතුළුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වූහ.

 

Leave A Comment