
තොරතුරු පනත අක්‍රීයවිමෙන් දූෂණය විරෝධය අඩපණ විය හැකියි – කරු ජයසූරිය
- Sujeewa Senerath
- April 21, 2025
- දේශපාලන, පුවත්
- karu-jayasuriya, nmsj, RTI
- 0 Comments
තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම න්වේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පූර්ණ සක්රීයභාවය අඩපණ වන ආකාරයකට ඉඩප්රස්ථා විවර කර ඇති ආකාරයක් මේ වන විට උද්ගතව තිබීම ගැන නොපමාවම සැලකිල්ලට ගනිමින් තොරතුරු කොමිසමේ වර්තමාන පැවැත්ම ගැන බලධාරීන් වහාම සිය අවධානය යොමුකල යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.
අප ඒ බව අවධාරණය කරනු ලබන්නේ එහි සභාපතිවරයා පසුගිය මාර්තු මාසයේදී ඉල්ලා අස්වීමෙන් ඇති වූ ඇබෑර්තුව ද තවමත් හිස්ව පැවතීම සැලකිල්ලට ගනිමිනි. සභාපතිවරයෙකු ද නොමැතිව කොමිසම ක්‍රියාත්මක වන්නේ අර්ධ වශයෙනි. එමෙන්ම 2025 ජනවාරි 01 දා සිට ඇති වී තිබෙන කොමසාරිස් තනතුරකට අදාළ ඇබෑර්තුව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා අනුබද්ධිත මාධ්‍ය සංගම් විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබියදීත් එම පත්වීම ද තවමත් ලබා දී නොමැත.
එයට අමතරව අවශ්‍ය නීතිඥවරුන් සහ අනෙකුත් නිලධාරීන්ගේ ද දැඩි හිඟයක් පවතී. මෙය කොමිසමේ ඉදිරි පැවැත්මට තර්ජනයක් වනු ඇත. තොරතුරු දැනගැනීමේ පණතින් ලැබෙන විවිධ කරුණු ගැන සමාජයේ දැඩි ඉල්ලුමක් පවතී. එමෙන්ම මුළුමනින්ම සම්පූර්ණ නොවූ කොමිසමක් මගින් ලබාදෙන තීන්දු අභියෝගයට ලක්වීමට ද ඉඩ තිබේ. එය රටේ යහ පැවැත්මට අහිතකර තත්ත්වයකි.

2003 වර්ෂයේ එදා සිටි මුළු විපක්ෂයත් සිවිල් සමාජයත් එක්ව ඉල්ලා සිටි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලැබුණේ අවුරුදු දොළහකට (12) කට පසු, එනම් 2015 දී ය. ඊට පෙර පැවති රජයේ දැඩි විරෝධයට ලක් වූ එම පනත මුලින් ඉදිරිපත් වූයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. ශ්‍රී ලංකාව බලාත්මක කරන ලද එම පනත ලෝකයේ හොඳම පනත් තුන (03) අතරට අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගැනීම රටට ගෞරවයක් ලබාදුනි.
අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයට එරෙහිව සක්‍රීයව පෙනී සිටින තත්ත්වය අනුවද වඩා යහපත් රටක් වෙනුවෙන් දක්වමින් සිටින දායකත්වය අනුව ද තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කරන ඉල්ලීම ඉදිරියේදී තවත් වැඩි වනු ඇත. ඒ අතර ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ විස්තරද කොමිසම හරහා ලබා ගත හැකි බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වඩා ශක්තිමත් කරමින් සක්‍රීය කිරීමේ වගකීම බලධාරීන් සතු මගහැරිය නොහැකි වගකීමක් වී තිබේ.
එමෙන්ම ජනාධිපතිතුමන් අල්ලස් හා දූෂණ මැඩලීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන මෙම අවස්ථාවේදී “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම” ශක්තිමත් කරගැනීම සඳහා එතුමා ගෙන යන ක්‍රියාදාමයට විශාල පිටුවහලක් වනු ඇත.
එය එසේ නොවන්නේ නම් ඒ තුළ අපට සිහිපත් කරවන්නේ 2004-2005 කාලයේ එවකට පැවැති රජය ස්වාධීන කොමිෂන් සභා සඳහා කළ යුතු පත්වීම් අනිසි ලෙස ප්‍රමාද කිරීම මගින් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණ යාන්ත්‍රණයන් දුර්වල කිරීමට ගනු ලැබූ උත්සාහයයි. වර්තමාන රජයෙන් එවැනි තත්වයක් අපි කිසිසේත්ම අපේක්ෂා නොකරන්නෙමු.
එබැවින් මේ පිළිබඳව අප ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනුයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ලබා ගත් මෙම අයිතිය රැකගැනීම වෙනුවෙනි. මෙම අයිතිය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වයක් වශයෙන් ජනාධිපතිතුමා මෙම කරුණු හොඳින් වටහාගෙන ඇති බව හා අවශ්‍ය ඉක්මන් පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2025.04.21