
දළදා දැක්ම අප්‍රේල් 18 ඇරඹෙයි -ප්‍රදර්ශනය දින 10ක්
- CNL Reporter
- March 3, 2025
- පුවත්
- දළදා දැක්ම අප්‍රේල් 18 ඇරඹෙයි -ප්‍රදර්ශනය දින 10ක්
- 0 Comments
ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැඳුරේදී ඊයේ (02) පැවති දළදා දැක්මේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ ආගමික වතාවත් ඉෂ්ටසිද්ධ කිරීමෙන් අනතුරුව 18 දින පස්වරු 3.00ට බැතිමතුන්ට දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි.
පසුදින සිට දහවල් 12ට දළදා දැක්ම ආරම්භ කරන බවත් පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව බැතිමතුන්ට ලබා දෙන බවත් ඒ මහතා කීය. මෙසේ දළදා දැක්මක් සිදු කරනු ලබන්නේ වසර 16කට පසුය. අවසන් වරට 2009 වසරේ මාර්තු මස දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබෙන අතර රට තුළ යුදමය වාතාවරණයක් තිබියදීත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එම අවස්ථාවේ දළදා සමිඳුන් දැක වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණියහ.
දළදා වහන්සේ නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් දෙකක් පවත්වන බවත් එමඟින් තිස් දහසකට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා පැවසුවේය. මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා කීය.
ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැඳුරේ පැවති සාකච්ඡාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිවුනම, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සතර මහා දේවාල බස්නායක නිලමේවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගි වී සිටියහ.
දළදා දැක්ම වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු ක්ෂේත්‍ර සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
අසේල කුරුළුවංශ