නාමල්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී A-330 ගුවන්යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන්යානා 08ක් මිල දී ගැනීමේදී එයාර් බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක පමණ කාලයක් ඊයේ (26) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ දැනුම්දීමකට අනුව පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා එයින් පිටතට පැමිණියේ සවස 2.00ට පමණය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් මිල දී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිද්ධ වී ඇති බවට හෙළි කරන ලද්දේ එක්සත් රාජධානියේ බරපතළ දූෂණ විමර්ශන කාර්යාලය මඟිනි. එයාර් බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපි ලේඛන හරහා ද මෙම වංචාවේ තොරතුරු අනාවරණය වී තිබිණි. වෙළෙඳපොළ වටිනාකමට වැඩි වටිනාකමකට ගුවන්යානා මිල දී ගැනීමක් එහිදී සිදුව තිබුණු බව කියැවිණි.

කුප්‍රකට මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන එවකට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එම චෝදනාව නිසාම අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පවා පසුගිය වසරේ පනවනු ලැබීය.

ජාත්‍යන්තර වශයෙන් එළියට ආ එම ලිපිලේඛනවල එයාර් බස් සමාගම මඟින් මෙම ගුවන්යානා අලෙවි කිරීමට පෙර ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිය වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් දී ඇති බවට සඳහන් විය.

එම තොරතුරුවලට අනුව මෙම ගුවන්යානා ගනුදෙනුව සිදු කිරීමට පෙර එයාර් බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරියට දීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායිහි පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බව ද අනාවරණ කර තිබිණි.

ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර 2020 වසරේ පෙබරවාරි 06 වැනිදා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පසුව ඔවුන් ඇප මත මුදාහැරුණු අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලිණි.

මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව නාමල් රාජපක්ෂ මහතාව කැඳවා ප්‍රශ්න කෙරුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙම ගනුදෙනුව ගැන කිසිවක් නොදන්නා බව මෙන්ම තමා ඒ කිසිවකටත් සම්බන්ධකමක් නොමැති බව දිගින් දිගටම පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

දේශපාලන පළිගැනීම් නවතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න -නාමල් කියයි
දේශපාලන පළි ගැනීම් නවතා ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් දීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ (26) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

විමර්ශනවලට යැයි පවසමින් තමන් කැඳවා අසන ලද ප්‍රශ්නවලින් යම් හස්තයක් ඒ තුළ ක්‍රියාත්මක වන බව පෙනමින් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ගන්න එන්න කියලා තිබුණා. මම ආවා. එන්න කියපු වෙලාවටම මම ආවා. අද නිවාඩු දවසක්, ඒත් මම ආවා. හැමදාම වගේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙනවා.

ආණ්ඩුවට අපි ගැන හොයන්න සෙනසුරාදා, ඉරිදා වගේම ආගමික නිවාඩු දිනයන්හිදීත් කටයුතු කරනවා. ඒ වගේම ජනතාවගේ එදිනෙදා තිබෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්නත්, අය-වැයෙන් දීපු පොරොන්දු ඉටු කරන්නවත් මේ වගේ මහන්සි වෙලා වැඩ කරනව නම් වටිනවා. එහෙම කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත කැඳවීමක් නැහැ. එන්න කිව්වොත් එනවා. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දේශපාලනික පළි ගැනීම පැත්තක තියලා ඇත්ත අපරාධකාරයෝ හොයන්න කියලා. පසුගිය දවසේ මිලියන 200ක් ගැන කිව්වා. දැන් මිලියන 100ක් කියනවා. ඔහොම පහළට ඇදෙයි. අපේ නෙවෙයි ඕනෑම කෙනෙක් වැරැද්දක් කරලා තිබෙනව නම් පරීක්ෂණයක් කරන්න. ඒකට නීතිපති එක තියෙනවා. අධිකරණය තියෙනවා. පොලීසිය තිබෙනවා. ඒ අනුව කරන්න කියලා ඉල්ලා සිටිනවා.

 

රක්ෂණ ශ්‍රියන්ත / නුවන් කොඩිකාර

ඡායාරූපය – ශාන් රූපස්සර

 

Leave A Comment