නීති විරෝධි පාවහන් ආනයනය නිසා කර්මාන්තකරැවන් 3000 ක් අනතුරේ.
පුවතකට වැඩි යමක්.
බලධාරීන් ගේ අවධානයට !
දේශීය පාවහන් නිෂ්පාදකයින්ගේ සංගමයේ
සභාපති.
පසුගිය සති අන්තයේ ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවෙන්ම වාර්තාකර තිබුනේ වසර ගණනක් තිස්සේ මෙරට දේශීය නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලුවක් ගැනයි.
නීති විරෝධී ලෙස මෙරටට වෙලදපලට සපත්තු ආනයනය කිරීම නිසා දේශීය කර්මාන්තයට මරු පහරක් එල්ල වී ඇති බව එමගින් පෙන්වා දි තිබුණා. .
දේශීය සපත්තු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නෙවිල් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කරන සපත්තු සහ සෙරෙප්පු නිසාත් චීනය ඉන්දියාව වැනි රටවලින් ඉතා බාල වර්ගයේ සපත්තු සෙරෙප්පු මිල අඩුවෙන් සටහන් කර ආනයනය කරන නිසාත් මෙම කර්මාන්තයේ ආයේජනය කර ඇති 3000කට අධික කුඩා සහ මහා පරිමාණ නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් විශේෂයෙන්ම ලක්ෂ තුනක් පමණ සේවක සේවිකාවන්ගේ හෙට දවස අවිනිශ්චිත භාවයට පත්ව ඇති බවත්ය.
වර්තමානයේ පාලකයන් විසින් කතා කරන රටට නවෝදයක් උදා කිරීමේ ව්‍යාපාරයත් විපක්ෂයේ පක්ෂ විසින් කතා කරන ව්‍යවසාය රාජ්‍යයක් බිහි කිරීම හෝ නවෝත්පාදන රට තුළ ප්‍රචලිත කිරීම යන යහපත් සිහිනයන් දවල් සිහිනයන් වන්නේ රට තුල පවතින දුර්වල සහ මන්දගාමී පරිපාලනය රටාව නිසාය.
මෙරට පවතින ප්‍රධාන ප්රශ්නය වන්නේ නව රැකියා බිහි නොවීමය.
විදේශ ආයෝජන ලබා ගැනිම කෙසේ වෙතත් දේශීය ආයෝජකයින්ට හෝ සුළු පරිමාණ නිෂ්පාදණයකට අත ගැසීමට නොහැකි වී ඇත්තේ විවෘත වෙළඳපළ ක්‍රමය යටතේ නව නිෂ්පාදකයන්ට දේශීය වෙළඳපොලේ හෝ ආයෝජනය කිරිමට රජයෙන් කිසිදු දිරි ගැන්වීමක් හෝ ඇපකරයක් ලබා නොදිමය.
අප විසින් උදාහරණයට ගත් සපත්තු සෙරෙප්පු කර්මාන්තයට අමතරව තවත් දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් මෙම තර්ජනයට මුහුණ දී ඇති බව නව පාලනය විසින් අවබෝධ කරගත යුතුය. අවම වශයෙන් දේශීය කර්මාන්ත කරුවන් කණ්ඩායම් වශයෙන් හෝ වර්ගීකරණය අනුව හමුවී සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව පමණක් සිහිපත් කරමු. කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදය නිසාත් මධ්‍ය සහ සුළු කර්මාන්ත 200,000ක් පමණ අර්බුදයට පත්වී ඇති බව ලෝක බැංකුව පවා පිළිගෙන ඇති අතර ඒ සඳහා විසඳුම් දිය යුතු බවට කෑ මොර දීම හැර වෙනත් කිසිදු සාධනීය කටයුත්තක් රටතුල සිදුවන්නේ ද නැත.
අප උදාහරණයට ගත් සපත්තු කර්මාන්තය ගත්තද එය අධි තාක්ෂණ හෝ මහා පරිමාණ කර්මාන්තයක් නොවේ.
මෙරට පාසැල් දූදරුවන්ට අවශ්‍ය සපත්තු සහ ආරක්ෂක සේවාවන් සඳහා අවශ්‍ය සපත්තු ඇතුළු අනෙකුත් කොටස් නිෂ්පාදනය කළත් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථාව ලබාදිය හැකි අංශයකි.
මීට අමතරව උසස් නිෂ්පාදනයන් බිහිකිරීමට හැකි නම් ඒවා කලාපයේ අනෙකුත් රටවලට අපනයනය කිරීමට ද හැකියාව ඇත.
නෙවිල් පෙරේරා මහතා සඳහන් කරන ආකාරයට මෙම නීති විරෝධී ආනයනයන්, අඩුමිල සඳහන් කර ආනයනය කිරීම සහ ගුවන් මගීන් ලෙස දෛනිකව වෙලදපලට එකතු වන නිෂ්පාදන ප්‍රමාණය අති මහත්ය.
මෙම
මුහුදු මාර්ගයෙන් කෙරෙන අවිධිමත් ස්මග්ලින් (Smuggling)සහ
ගුවන් මගින් කරන අනීතික ව්‍යාපාර ආරම්භ වූයේ 1977 නව විවෘත වෙළඳපළ ආර්ථිකයත් සමගය.
අපගේ භාණ්ඩාගාරය දැඩි මුදල් අහේනියකට පත්ව ඇති මෙම වකවානුවේදී දේශීය නිෂ්පාදනයන් වැඩිකර රජයට බඳු ගෙවන ව්‍යාපාරික සමූහයන් බිහිකිරීම එතරම් අපහසු කරුණක් නොවේ.
අනුර කුමාර දිසානායක මුදල් ඇමැතිතුමනි,
දේශීය කර්මාන්තකරුවන් හමුවෙන්න.
ඔවුන්ගේ ගැටළු පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ සඳහා විසඳුම් ලබා දෙන්න.
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ඔබගේ පුනර්ජීවය වැඩසටහන යටතේ රටේ නව පිබිදීමක් ඇතිකරලීමය.
ජාවාරම් කාරයින්ට හොරබඩු ආනයනකරුවන්ට සහ දිනපතා ගුවන් මගින් මෙරටට ගෙන එන නිති විරෝධි ජාවාරම් කාරයින්ගේ මහා පරිමාණ ව්‍යාපාරය නතර කිරීමට අවශ්‍ය කටයුතුකරන්න.
එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බවද අප අවසාන වශයෙන් කියා සිටිමු.