පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරතින් විවෘත කෙරේ
- 5opn1
- November 12, 2024
- පුවත්, ව්‍යාපාරික පුවත්
- 0 Comments
මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් රුපියල් මිලියන 93 ක වියදමකින් ඉදිකළ පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල (MOH) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරතින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදි.
පයාගල නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිතවීමත් සමග පයාගල ප්‍රදේශයේ 122,000 පමණ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට හැකියාව ලැබෙන අතර, පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 07 කින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කොට්ඨාස 33 කින් යුක්තය. ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු සදහා රුපියල් මිලියන 73 ක් සහ උපකරණ සදහා රුපියල් මිලියන 20 ක් වශයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 93 කි.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් 195,000 ක පමණ ජනගහනයකට සෞඛ්‍ය සේවාවන් සපයා ඇති අතර, කාර්යක්ෂම සේවාවක් සැපයීමේ දී ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇත. පයාගල නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිහිටුවීමත් සමග බේරුවල සහ පයාගල වශයෙන් වෙන්ව ශක්තිමත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවස්ථාව උදා වී ඇත.
මෙම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ නව විවෘත කිරීම්, සමරුඵලක හා උත්සව වලින් තොරව නව සංස්කෘතියක් තුල සිදු කෙරෙන බවත් පසුගිය කාලය තුල එලෙස විවෘත කිරීම් ගණනවක් සිදු කළ බවයි. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල රුපියල් මිලියන 93 ක වියදමින් මනරම්, දැකුම්කළු සහ අවශ්‍ය සියළුම අංග උපාංගවලින් සමන්විතව ඉදිකළ ගොඩනැගිල්ලක් බවත්, මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බවද පෙන්වා දෙන ලදි. මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව, රෝග නිවාරණ අංශය, පරිසර සෞඛ්‍ය වශයෙන් පුළුල් වපසරියක දිවෙන විශාල සේවාවක් සිදු කරන ස්ථානයක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පෙන්වා දිය හැකි බව ද පැවසීය.
“මාතෘ සෞඛ්‍ය”, “ළමා සෞඛ්‍ය”, “පවුල් සංවිධානය”, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයන සුව සේවා අතර වැදගත් තැනක් ගනී. මෙම සේවා සපයනු ලබන්නේ සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි ස්ථාපිත පුළුල් වෛද්‍ය ආයතන ජාලයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමූහයත් යන මනාව සැකසුනු යටිතල පහසුකම් ඔස්සේ ය. රෝහල් පද්ධතිය රෝගී සත්කාරක සේවාව සපයන ප්‍රධාන ආයතනය වන අතර රෝග නිවාරණ සේවාවේ මූලික කොඳු නාරටිය වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි.
මෙම අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, කළුතර ශික්ෂණ රෝහලේ අධක්ෂ වෛද්‍ය මධුභාෂිණි කරුණාරත්න, පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මංජුල හෑකන්දල යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.