ප්‍රියා සූරියසේන: ‘ප්‍රියාලා ඉන්නේ එක්කෙනෙක් විතරයි’
- 5opn1
- December 28, 2024
- විශේෂාංග
- ප්‍රියා සූරියසේන: 'ප්‍රියාලා ඉන්නේ එක්කෙනෙක් විතරයි'
- 0 Comments
සිංහල සංගීත ක්ෂේත්රය තුළ බිහි වූ වෙනස් කටහඬකට හිමිකම් කී ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන දෙසැ: 24 පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
70 දශකයේ සිට ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්රය ගීත රැසකින් පෝෂණය කළ ඔහු මිය යන විට 80 වන වියේ පසු වූ බව ඔහුගේ දියණිය ඉරෝෂි සූරියසේන බීබීසී සිංහල වෙත පැවසුවා ය.
ඇය සඳහන් කළේ, මාස තුනකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව ත් එහිදී දෙසැ: 24 පෙරවරු 6.15ට පමණ අභාවප්‍රාප්ත වූ බව ත් ය.
අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, ඈත රන් විමන්, රටකින් එහා ඉගිලී, මගේ ළමැද, මොහොතක සුව දෙන, හදවත ඉල්ලා, සුදු පරවි රෑන සේ ආදිය ඔහුගේ ගී නිර්මාණ අතර අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීත අතරින් කිහිපයකි.
ගායනය දිවියට පිවිසීම
පාසල් අවධියේදී ම මොහිදීන් බෙග් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායකයින්ගේ ගී ගයමින් ගායන දිවිය ඇරඹූ බව ඔහු වරෙක සරසවිය කලා පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් සඳහන් කර තිබිණි.
මාදම්පෙ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පාසලේ සංගීත ගුරුවරයා හරහා ගුවන් විදුලියට පා තැබූ ආකාරය ද එහිදී සිහිපත් කර තිබිණි.
“මම ඉගෙන ගන්න ගියෙ මාදම්පෙ මධ්‍ය මහා විද්‍යාලයට. ඒකෙ සංගීත මාස්ටර් මාව ගීත ගයන්න ගුවන් විදුලියේ සරල ගී තරගයට තියන්න ඕනේ කියලා මාව දවසක් ගුවන් විදුලියට එක්කගෙන ආවා. එහෙම ඇවිල්ලා තමා ඒ අංශයට මාව පෙළඹුණේ. ඉතිං ඊට පස්සේ මං දිගට ම ආශාවෙන් ඒ වැඩ කටයුතු කර ගන්න පෙළඹුණා,” ඔහු එහිදී පැවසීය.
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “බයිලා ඔඩිෂන්” එකකට මුහුණ දුන් ආකාරයත් අනතුරුව එහි “ඒ ශ්‍රේණියේ” සරල ගී ගායකයෙකු ලෙස තේරී පත් වුණු ආකාරයත් ඔහු සිය සංවාදයේදී සඳහන් කර තිබිණි.
එනම්, 1978 වසරේ සිට අඩ සියවසකට ආසන්න කාලයක් ඔහු මෙරට ගීත ක්ෂේත්රය පෝෂණය කළ කලාකරුවෙකු ලෙස නම් දරා තිබේ.
‘ගීත 600ක් 700ක් ගායනා කරලා තියෙනවා’
ප්‍රියා සූරියසේන සරසවිය පුවත් පත සමග සිදු කළ සංවාදයේදී සඳහන් කර තිබුණේ, ගුවන් විදුලි සරල ගීත සහ කැසට් පට සඳහා ගායනා කළ ගීත ද සමග මේ දක්වා ගීත 600ත් 700ත් අතර ගණනක් තමන් විසින් ගායනා කරනු ලැබ තිබුණු බව ය.
ඊට අමතරව චිත්‍රපට ගීත ද 8ත් 10ත් අතර ගණනක් ගායනා කර ඇතැයි ඔහු එහිදී පවසා තිබිණි.
“මං මුලින් ම චිත්‍රපට ගීතයක් ගැයුවේ ‘මුඩුක්කුවේ ජුලියට් කුමරි’ කියලා සින්දුවක්,” ඔහු පැවසීය.
ප්‍රියා සූරියසේන විසින් මුල් වරට සංගීත නිර්මාණය කර ගයන ලද ගීත වන ‘සරතැස නිවා’ සහ ‘හෙට දවසේ’ යන ගීත දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් අතර, 1980 දශකයේ තිරගත වුණු ‘ඈතින් ඈතට’ චිත්‍රපටයේ ඔහු මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ ‘කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා’ ගීතය අදටත් ජනප්‍රිය ගීතයකි.
පෞද්ගලික ජීවිතය
කවියෙකු වූ ජේමිස් අප්පුහාමි සහ එම්.කේ.එම්. පොඩිමැණිකේ යුවළට දාව ප්‍රියා සූරියසේන 1944 ඔක්තෝබර් මස 27 නාත්තණ්ඩිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
1978 ජූනි 22 දා ඔහු විවාහ දිවියට එළඹුණේ, ඔහු සමග හේවුඩ්හි (වර්තමානයේ සෞදර්ය කලා විශ්වවිද්‍යාලය) සංගීතය හැදෑරූ තමරා කුමාරි වීරසිංහ සමග ය. ඇය ද වෘත්තියෙන් සංගීත ගුරුවරියකි.
නාත්තණ්ඩිය කටුනේරිය මහා විද්‍යාලයට (වර්තමානයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය) මුල් වරට ගුරු පත්වීම ලද ඔහු අනතුරුව කැලණිය ගුරුකුල විද්‍යාලය, ශ්‍රී විජයාරාම මහා විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ආදී පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කර තිබේ.
ගුරු වෘත්තියට පිවිසීමට පෙර ඔහු යටකලන්පත්තුව සමූපකාර විවිධ සේවා නාත්තණ්ඩිය සංගමයේ “මුදල් අයකැමියෙකු” ලෙස සේවය කර තිබිණි.
වසර 12ක් පමණ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරන ඔහු එම වෘත්තියෙන් ඉවත් වූයේ, සංගීත ක්ෂේත්රය තුළ ඔහුගේ වූ කාර්ය බහුලත්වය නිසා බව ඔහු සරසවිය පුවත්පත සමග කළ සංවාදයේදී සඳහන් කර තිබිණි.
1990 දශකයේ ඔහු ලක්ෂිත ට්‍රේඩ් සෙන්ටර් නමින් කැසට් ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගිය බව ඔහුගේ දියණිය ඉරෝෂි සූරියසේන බීබීසී සිංහල සමග තම පියා පිළිබඳව ආවර්ජනය කරමින් පැවසුවා ය.
ප්‍රියා සූරියසේනට දියණියන් තිදෙනෙක් සහ පුතෙක් සිටිති.
‘ප්‍රියාට තමයි හොඳ ම තනු හම්බ වෙලා තියෙන්නේ’ – එඩ්වඩ් ජයකොඩි
ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ අභාවය සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි පැවසුවේ, ඔහුගේ අහිමි වීම “ලොකු පාඩුවක්” බවත් “ප්‍රියා ඇති තරම් ගීත ගයලා මේ සංගීත ක්ෂේත්රය පොහොසත් කළ” බවත් ය.
“ප්‍රියා සූරියසේන කියන නම හොඳ සන්නාමයක්. ලංකාවේ පමණක් නෙවෙයි, හතර දිබ්බාගේ ලෝකේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ප්‍රියා සූරියසේනගේ ගීත, ගත්තොත් ඔහුගේ සංගීත දැනුම, ඔහුගේ ගායන හැකියාව ගත්තොත් මහා දැවැන්ත පරිමාණයක් තියෙනවා,” ඔහු පැවසීය.
අතීතය පිළිබඳව ආවර්ජනය කරමින් එඩ්වඩ් ජයකොඩි මෙසේ ද සඳහන් කළේ ය.
“70 දශකයේ මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන කියන නම් දෙක එකට තමයි ගියේ. මම ඉස්සර වැඩසටහන්වලත් කියනවා, ප්‍රියාට තමයි හොඳ ම තනු හම්බ වෙලා තියෙන්නේ කියලා. අපි දෙන්න ම අධ්‍යාපන ක්ෂේත්රයේ. ප්‍රියාත් ඉස්සෙල්ලා ගුරුවරයෙක්, මමත් ගුරුවරයෙක් විදිහට තමයි ක්ෂේත්රයට ආවේ. පස්සේ මම අධ්‍යාපන නිලධාරියෙක් වුණා. ඉතින් එතකොටත් අපි එකට වැඩ කළා.”
‘ප්‍රියාලා ඉන්නේ එක්කෙනෙක් විතරයි’ – රූකාන්ත ගුණතිලක
ගායන ශිල්පී ප්‍රියා සූරියසේන සමග ගෙවුණු අතීතය පිළිබඳව ආවර්ජනය කරමින් සංගීත ශිල්පී රූකාන්ත ගුණතිලක බීබීසී සිංහල සමග පැවසුවේ, ඔහු “හරි ම විනෝදබර, හරි ම මිත්‍රශීලී, හරි ම විවෘත, නිදහස් චරිතයක්,” වූ බව ය.
ප්‍රියා සූරියසේන යනු, විශේෂ ගායකයෙකු බව රූකාන්ත ගුණතිලක පැවසීය.
“මම ඉස්කෝලේ ඉන්න කාලේ තමයි ‘අඳුර අඳුර මගේ’ සිංදුව එළියට ආවේ. ඒක තමයි එයාගේ මාස්ටර් පීස් එක,” ඔහු තම මතකය අවදි කළේ ය.
“පසු කාලයේදී මට එයාගේ සිංදුවලට සහභාගී වෙන්න අවස්ථාව එනවා. සඳ තාරකා හඬාවි, හදවත ඉල්ලා, මගේ ළමැද සුව යහනක්… ඒ ගීත ඔක්කොම ස්ටැන්ලි පීරිස් මහත්මයා සංගීතවත් කරලා ජෝ නෙත් ස්ටූඩියෝ එකේ. ඒ පටිගත කිරීමට මට සෙල්ලම් කරන්න බැරි වුණා, මම එතකොට හෝටල් පාසලේ හිටියේ. මම හෝටල් පාසලේ ඉඳන් මගේ මිත්‍රයෝ ඔක්කොමත් එක්ක ආවා, එයාලටත් බලන්න ආසයි කියලා, ඔය සිංදුව පටිගත කරද්දී මම එතන හිටියා,” ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, “ගොඩක් වෙලාවට එයාගේ වැඩ එක්ක මට ළඟින් ඉන්න හම්බවුණා,” යනුවෙනි.
තවදුරටත් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ප්‍රියා සූරියසේන ගැයූ, තමා අතින් ලියවුණු ‘මොහොතක සුව දෙන’ ගීතය නිර්මාණය වුණු ආකාරය ගැන රූකාන්ත ගුණතිලක පැවසීය.
“මොහොතක සුව දෙන සිංදුව හැදුණේ, මම සින්ග් ලංකා ස්ටූඩියෝ එකට ගිය වෙලාවක. ඒ පටිගත කිරීමට මම අදාළ එක්කෙනෙක් නෙවෙයි. එදා දයානන්ද පෙරේරා, නාද ශික්ෂණය කරන… දයා මගේ යාළුවෙක්. දයාව හම්බ වෙලා, ටක් ගාලා එන්නම් කියලා යනකොට, එතන කුලරත්න ආරියවංශ ඉඳලා, ‘ආ මේ ඉන්නේ… මෙයාට කියලා ලියාගමු’ කිව්වා.
මම ඇහුවා ‘මොනව ද’ කියලා. ‘මම ලියන්න දන්නේ නැහැ, මොනවා ද’ කියලා.
‘නෑ, මේක ප්‍රියාට. මම මෙලඩිය දෙන්නම්’ කියලා, අර්නස්ට් සොයිසා සහෝදරයා ගිටාර් එක ගහලා මෙලඩිය කිව්වා. අනිවාර්යයෙන් දැන් ලියන්න ඕනේ කිව්වා. ඒපාර බොරු වචන ටිකක් මොනවහරි කරලා ලියලා, මාව එතන ඉස්සරහා ඔෆිස් කාමරයක් තියෙනවා, ඒකට දාලා වැහුවා මාව. එහෙම තමයි ඒක වුණේ,” ඔහු අතීතය පිළිබඳව සිහපත් කළේ ය.
“ප්රියාලත් එක්කෙනෙක් විතරයි ඉන්නේ. එහෙම හිටපු ගායක ගායිකාවෝ ලිස්ට් එකක් ඉන්නවා අපේ රටේ. ඒ අය එක්කෙන යි. ඒක හින්දා තමයි කාලයක් ම වැජබිලා හිටියේ,” රූකාන්ත ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ ය.
‘මම ප්‍රියා ඔයා සුප්‍රියා නේ’
11 වන වියේදී ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රියා සූරියසේන ගායන ශිල්පියාගේ ගීතයක් ගැයූ ආකාරය ගැන සුප්‍රියා අබේසේකර බීබීසී සිංහල සමග මතකය ආවර්ජනය කළේ, ඉන් අනතුරුව සිදුවූ තවත් සුන්දර සිදුවීමක් පිළිබඳව ද සඳහන් කරමිනි.
“මට අවුරුදු 11ක් විතර කාලේ, නුගේගොඩ හන්දියේ තිබුණු එක ෂෝ එකකදී, සිංදු කියන්නේ නැති කාලේ, මම පොඩියි, අම්මට හම්බුණ අවස්ථාවකදී, මම සිංදුවක් කිව්වා. ඒ කිව්වේ ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීතයක්, ‘මාගේ සැමරුම් පොතේ.’ මට කියන්න කිව්වා ම මම අසාවෙන් කිව්වේ ඒ සිංදුව. ඒ කාලේ කවුරුත් පිරිමි සිංදු කියන්නේ නැති නිසා, පොඩි ප්‍රශ්නෙකුත් උණා ඒ වෙලේ.
ලොකු කාලයේ මම ඒ කතාව ප්‍රියා සූරියසේන මහත්මයාට කිව්වා ම මට කිව්වා, ‘කමක් නෑ, මම ප්‍රියා ඔයා සුප්‍රියා නේ,’ කියලා” ඇය සිය මතකය අවදි කළා ය.
ඔහුගේ අභාවය පිළිබඳව කනගාටුවෙමින් ඇය වැඩිදුරටත් පැවසුවේ, “හොඳ ගීත ගොන්නක් දායාද කරපු කෙනෙක්. ආයෙත් ඒ හඬ අහන්න නැහැනේ. රියැලිටිවලින් ආව කීදෙනෙක් ඒ මනුස්සයාගේ ගීත කියනවා ද?,” යනුවෙනි.